BREAKING NEWS
latest

728x90

468x60

Thursday, January 12, 2023

ගුවන් ඉන්ධන සඳහා රුපියල් මිලියන 800ක් ගෙවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් එකඟතාවක්

සාර්ථක සුහඳ සාකච්ඡාවකින් පසුව ගුවන්යානා ඉන්ධන සඳහා ගෙවීමට තිබෙන ණය මුදල කොටස් වශයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ගෙවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම එකඟත්වය පළ කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ නීල් ජයසේකර මහතා පවසයි. එම සාකච්ඡාව ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත 2018.07.02 දින පස්වරුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා‍වේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ. පොදු ව්‍යාපාර පිළිබඳ අමාත්‍යංශ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග හා ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු යන මහත්වරු එම සාකච්ඡාවට එක්ව සිටියහ.

එම සාකච්ඡාවේදී වැඩිදුරටත් ශ්‍රීලංකන් ගුවන් සේවා සමාගම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට එකඟ වූයේ ගුවන්යානා වෙනුවෙන් ගෙවීමට ඇති ඩොලර් මිලියන 87.5ක හෙවත් රුපියල් බිලියන 13.45ක ණය මුදලින් පළමුව අමෙරිකානු ඩොලර් මිලියන 05ක් හෙවත් රුපියල් මිලියන 800ක මුදලක් ඉදිරි සතිය තුළදී ගෙවීමට වේ. ඉතිරි ණය මුදල පියවීම සඳහා පෞද්ගලික බැංකුවකින් ණය මුදලක් ලබා ගැනීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ඉදිරියේදී ලබා ගැනීමට කටයුතු කරන බවද එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගම එකඟ වී තිබේ. දෙපාර්ශවය අතර ඇති වූ සුහද සාකච්ඡාවේදී රාජ්‍ය ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගම වෙත ගුවන්යානා ඉන්ධන ඉදිරියටත් අඛණ්ඩව සැපයීමට කටයුතු බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේය.
« PREV
NEXT »