BREAKING NEWS
latest

728x90

468x60

Monday, July 16, 2018

ජනපති රෝමයට - ලෝක වන සංරක්ෂණ කමිටුවේදී ජනපතිගෙන් විශේෂ දේශනයක්

පසුගිය 14 දා සිට අද (16) දක්වා රෝමයේදී පැවැත්වෙන ලෝක වන සංරක්ෂණ කමිටුවෙහි 24 වන සැසිවාරයට සහ 6 වැනි ලෝක වනාන්තර සතිය සැමරුම් අවස්ථාවට සහභාගීවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙරේදා දහවල් රෝමය බලා පිටත්ව ගියේය.

තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වනාන්තරවල දායකත්වය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය වාර්ෂිකව මෙම සමුළුව සංවිධානය කරයි. වන සංරක්ෂණය පිළිබඳ ප්‍රතිපත්ති ශක්තිමත් කරලීම හා වැඩසටහන් සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට ද මෙම සමුළුව පුළුල් දායකත්වයක් සපයයි.

ලෝක වනාන්තර සතියේදී නව දැනුම හා මෙතෙක් ලබා ඇති ප්‍රධාන ජයග්‍රහණ පිළිබඳ එහි සාමාජික රටවල් අතර අදහස් හුවමාරු කර ගැනීමේ අවස්ථාව හිමි වේ.

ශ්‍රී ලංකාවේ වන ඝනත්වය 29% -32% දක්වා ඉහළ නංවා ගැනීමට ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දු තීරණ සහ වන සම්පත රැක ගැනීම වෙනුවෙන් පියවර රැසක් ක්‍රියාත්මක කරමින් සිටින අවස්ථාවක මෙම සැසිවාරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වය සුවිශේෂී වෙයි.

ජනාධිපතිවරයා අද (16) සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සමුළුවෙන් අනතුරුව විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුව සඳහා සහභාගීවීමට ජනාධිපතිවරයා ජෝර්ජියාව ටිබිලිසි නගරය වෙත ළඟාවීමට නියමිතය.

විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම, පුරවැසියන් බලගැන්වීම, දූෂණයට එරෙහිව කටයුතු කිරීම, රජයන් ශක්තිමත් කිරීම සඳහා නව තාක්ෂණය යොදාගැනීම, රට තුළ පවතින සිවිල් සමාජය සමග සහයෝගයෙන් කටයුතු කිරීම ආදිය සඳහා රජයන් දිරිගන්වන බහුපාර්ශ්වීය මූලාරම්භයක් ලෙස විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය 2011 වර්ෂයේදී ජාත්‍යන්තර මට්ටමින් විධිමත්වත්ව ස්ථාපිත කෙරිණි.

වර්තමාන රජය විසින් ගෙන යනු ලබන යහපාලන වැඩපිළිවෙළ අගයමින් එම හවුල්කාරිත්වය සමග එක්වන ලෙස ලැබුණු ආරාධනාව අනුව 2015 වසරේදී ශ්‍රී ලංකාව ඒ හා එක්විය.

මෙවර සමුළුව සඳහා රටවල් 96 ක රාජ්‍ය නායකන් සහ නියෝජිතයන් සහභාගීවීමට නියමිත අතර දූෂණ විරෝධය, සිවිල් අවකාශය සහ රාජ්‍ය සේවාව ශක්තිමත් කිරීම යන අරමුණු ඉටු කර ගැනීමේදී පවතින අභියෝග සහ එම අභියෝග ජය ගැනීම සඳහා ගෝලීය වශයෙන් සාමුහිකව ගතයුතු ප්‍රයත්නයන් පිළිබඳ පුළුල් අවධානයක් මෙහිදී යොමු කෙරෙනු ඇත.

ජනාධිපතිවරයාගේ ජෝර්ජියානු නිල සංචාරය 17 වනදා සිට 19 වනදා දක්වා සිදු වේ.
« PREV
NEXT »