BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, July 03, 2018

විග්නේෂ්වරන්ගේ ඉරණම - දිනසේන රතුගමගේ

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරයට ඊළඟට තරග කිරීමට සී. වී. විග්නේෂ්වරන් මහතාට අවස්‌ථාව ලබා නොදෙන බව දෙමළ ජාතික සන්ධානයේ සෑම අයකුම කියා සිටියේය.

මුලින්ම මේ කතාව කියන ලද්දේ එම්. ඒ. සුමන්තිරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාය. ඊළඟට මාවෛයි සේනාධිරාජා මන්ත්‍රීවරයා ද ඒ කතාවම තවත් තීව්‍ර කරමින් හැඩ වැඩ දමමින් කැටයම් ද කපමින් කියන ලද්දේ යාපනයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ඒ සමඟම විග්නේෂ්වරන් මහතා පිළිබදව සියලු දෙනාම කතා කරන්නට පටන් ගැනීමත් සමඟම ඔහු ද ඒ කියමන් නිකම්ම නිකන් ගලා යන්නට ඉඩ නොදුන්නේය. ඔහු කියා සිටියේ තමන් දේශපාලනයෙන් සමුනොගන්නා බවත් තමන්ට උතුරේ දේශපාලන කටයුතු කරගෙන යැම සඳහා අවශ්‍ය තරම් දේශපාලන පක්‌ෂ තිබෙන බවත්ය.

කෙසේ හෝ මීළඟට උතුරේ ප්‍රධාන අමාත්‍ය ධුරයට තරග වදින්නේ තමා යෑයි කිවූ මාවෛයි සේනාධිරාජා මන්ත්‍රීවරයා දැන් කියා සිටින්නේ විග්නේෂ්වරන් මහතාට ඔවුන්ගේ පක්‌ෂය තුළ ඉඩක්‌ ලබා නොදීම සම්බන්ධයෙන් පක්‌ෂය අවසන් තීරණයකට එළඹ නොමැති බවයි.

සුමන්තිරන් මන්ත්‍රීවරයා තවමත් කිසිවක්‌ නොකී නමුත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා යාපනයේදී මාධ්‍යවේදීන්ට පවසා තිබුණේ විග්නේෂ්වරන් මහතා බුද්ධිමත් ඉතාම දක්‌ෂ මෙන්ම ඉතාම හොඳ අයකු බවයි.

* උතුරේ මහ ඇමැතිගේ පොත පෙරළීම...

දෙමළ ජාතික සන්ධානයේ සියලු දේශපාලනඥයන් හදිසියේම වෙනස්‌ වූයේ විග්නේෂ්වරන් මහතා ඔවුන් සියලු දෙනාටම "පොත පෙරළීම" නිසා යෑයි මේ දිනවල උතුරේ කතාබහක්‌ පැතිර යමින් පවතී. එනම් පසුගිය සතියක එක්‌ ඉරිදාවක යාපනයේ වීරසිංහම් ශාලාවේදී ප්‍රධාන අමාත්‍යවරයා විසින් ලියන ලද පොතක්‌ එළිදක්‌වනු ලැබීය.

"විනිසුරුවරයෙක්‌ කතා කරයි" නමැති එම ග්‍රන්ථය පිළිගන්වන ලද්දේ සම්බන්ධන් මන්ත්‍රීවරයාටය. විග්නේෂ්වරන් මහතාව නිර්දය ලෙස විවේචනයට ලක්‌ කළ මාවෛයි සේනාධිරාජ මන්ත්‍රීවරයා මේ අවස්‌ථාවට සහභාගිවීමට පැමිණෙන විට ඔහුව විග්නේෂ්වරන් මහතා විසින් පිළිගන්නා ලද්දේ ඉතාම උණුසුම් අන්දමටය.

පොත් පිළිගැන්වීම සඳහා වේදිකාවට යා යුතුව සිටි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව කැටුව යන ලද්දේ සුමන්තිරන් මන්ත්‍රීවරයා විසිනි. පොත පිළිගැන්වීමේ උළෙලේදී දෙමළ ජාතික සන්ධානයේ සියලුම දෙනා විග්නේෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයාගේ ගුණ ගායනා කළේය.

උත්සවයෙන් පසුව මේ සියලුම දෙනා යාපනයේදී ඉතාම සතුටෙන් දිවා ආහාරය ගන්නා අවස්‌ථාවේ ගත් ඡායාරූප එළිදක්‌වමින් යාපනයේ මාධ්‍ය වාර්තා කළේ "දේශපාලනඥයන්ගේ කතා ඕනෑවට වඩා විශ්වාස කරන්නට එපා" යනුවෙනි.

* විග්නේෂ්වරන්ගේ ඉරණම

සී. වී. විග්නේෂ්වරන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට උතුරේ දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනය තුළින් යම් සහනයක්‌ ලැබෙන පෙරනිමිති පහළ වෙමින් පැවතියත් ඔහු කාලයක්‌ම සේවය කළ අධිකරණ ක්‌ෂේත්‍රයෙන් නම් සහනයක්‌ ලැබෙන පාටක්‌ පෙනෙන්නට නොමැත.

උතුරු පළාත් ප්‍රවාහන, ධීවර, මහාමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ධුරය දරන ලද වී. ඩැනීස්‌වරන් මහතා වත් තවත් අමාත්‍යවරු හතර දෙනකුත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් පසුගිය වසරේ අගෝස්‌තු මාසයේදී අමාත්‍ය ධුරවලින් නෙරපා හරින ලද්දේ ප්‍රධාන අමාත්‍යවරයා සතු බලතල උපයෝගී කරගෙනය.

ප්‍රධාන අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද ලිපියකින් අමාත්‍ය ධුරය අහිමි වීමෙන් පසුව පී. ඩැනීස්‌වරන් හිටපු අමාත්‍යවරයා එම ලිපිය බල රහිත කරන ලෙසත් තමන්ගේ අමාත්‍ය ධුරය ඉවත් කිරීම නීත්‍යානුකූල නොවන බවත් කියමින් පසුගිය වසරේ ඔක්‌තෝබර් මාසයේදී අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක්‌ ගොනු කළේය.

කුමුදුනී වික්‍රමසිංහ හා ජනක ද සිල්වා යන විනිසුරු මඬුල්ල එම පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක්‌ ලබාදීම පසුගිය ජුනි 29 දාට යෙදී තිබූ අතර එහිදී අවසන් තීන්දුවක්‌ ලබාදීම ලබන ජුලි මස 9 වැනිදාට කල්තබා එතෙක්‌ ප්‍රධාන අමාත්‍යවරයාගේ ඩැනීස්‌වරන් අමාත්‍යවරයා ඉවත් කිරීමට කළ නියෝගය බල රහිත කරමින් අතුරු නියෝගයක්‌ නිකුත් කොට තිබේ.

අභියාචනාධිකරණයේ මේ මූලික තීන්දුවත් සමඟම උතුරු පළාත් සභාවේ විපක්‌ෂ නායක එස්‌. තවරාසා මහතා කියා සිටින්නේ ලැඡ්ජාවක්‌ හෝ සදාචාර සම්පන්න බවක්‌ ඇත්නම් ප්‍රධාන අමාත්‍යවරයා ඉල්ලා අස්‌විය යුතු බවයි.

යාපනයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පවත්වමින් ඔහු මේ බව කියා සිටියේය. නීතිරීති කිසිවක්‌ ගණන් නොගෙන තම අභිමතයට අනුව කටයුතු කරන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා අභියාචනාධිකරණයේ තීන්දුව ලද වහාම ඉල්ලා අස්‌විය යුතුව ඇතැයි තවරාසා මහතා මෙහිදී කියා සිටියේය.

* තියෙන බලතල වැඩිකර ගැනීමට යයි

මේ අතරතුර යාපනයට රැස්‌ වූ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක්‌ කියා සිටියේ දහතුන් වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයෙන් බිහි වූ පළාත් සභාවලට ලැබී ඇති බලතල ප්‍රමාණවත් නොවන බවයි.

විශේෂයෙන්ම ප්‍රධාන අමාත්‍යවරයාට ලැබෙන බලතල යටතේ පළාත් සභාව තුළ කිසිවක්‌ කරගැනීමට නොහැකි බව ඔවුන්ගේ අදහසයි.

මෙහිදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා ප්‍රකාශ කොට ඇත්තේ උතුරු පළාත් සභාව මේ වසරේ ඔක්‌තෝබර් මාසයේදී විසුරුවා හැරීමට නියමිතව ඇති නිසා පළාත් සභාවට අයත් බලතල සම්බන්ධයෙන් ඉතා පැහැදිලි තීරණයකට පැමිණිය යුතු බවයි.

පළාත් සභාවලට හා ප්‍රධාන අමාත්‍යවරුන්ට හිමි බලතල සම්බන්ධයෙන් දහතුන්වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට අනුව නිකුත් වූ පළාත් සභා පනතේ සඳහන් වුවත් උතුරු පළාත් සභාවට එම බලතලවලින් විශාල ප්‍රමාණයක්‌ මේ වනතුරු ලැබී නැතැයි මේ සාකච්ඡාවේදී ඉස්‌මතු වී තිබේ.

මේ පිළිබඳව ජුලි මාසය ඇතුළත ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ යුතු බවට මෙහිදී යෝජනාවක්‌ ඉදිරිපත් වුවත් එහිදී මාවෛයි සේනාධිරාජා මන්ත්‍රීවරයා පවසා ඇත්තේ පළාත් සභා ක්‍රමය අනුව වැඩිම බලතල හිමි පුද්ගලයා වන ආණ්‌ඩුකාරවරයා සමඟ මුලින් සාකච්ඡා කොට පසුව අග්‍රාමාත්‍යවරයා හා ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කිරීම වඩාත්ම උචිත බවයි.

ඒ අනුව ජුලි මස 9 වැනිදා මේ සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්‌ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්‌ථාවක්‌ ලබා ගැනීමට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිස තීරණය කොට තිබේ.

* කවුරු මොනවා කිව්වත් උතුරේ අපි තවම බයෙන්

මුලතිව් ඔඩ්ඩිසුඩාන් ප්‍රදේශයේ පේරාරු පළාතේදී අසුවුණු යුද උපකරණ තොගය හා එල්. ටී. ටී. ඊ. නිල ඇඳුම් හා කොඩි පිළිබඳව මේ දක්‌වාම කිසිදු ස්‌ථිර නිගමනයක්‌ නොමැත.

රජයේ වගකිවයුතු සියලු දෙනාම කියා සිටින්නේ මේ කුමක්‌ සිදුවුවත් යළි යුද්ධයක්‌ ඇති නොවන බවට රජය සහතික වන බවයි. රජයේ වගකිය යුතු සෑම අමාත්‍යවරයාමත් උතුරු පළාත් ආණ්‌ඩුකාරවරයාත් කියා සිටින්නේ උතුරු පළාත් වසර තිහකට වඩා වැඩි කාලයක්‌ම අවි ආයුධවලින් පිරී තිබූ නිසා ඒ පළාතෙන් අවි ආයුධ අසුවීම ගැන එතරම් පුදුමයට පත්වීමට අවශ්‍ය නොමැති බවයි. ආණ්‌ඩුකාරවරයාගේම වචනයෙන් කියනවා නම් එතුමා කියා සිටින්නේ

"වර්ෂාව අවසන් වුවත් පොළොවේ තෙතමනය තවමත් වියළී ගොස්‌ නොමැති බවයි. කාලයාගේ ඇවෑමෙන් ඒ මහපොළොව වියළී යනු ඇතැයි" එතුමා තවදුරටත් කියා සිටියි.

කවුරුන් කුමන දේ කෙසේ කිව්වත් බිය හා සැකය ඇත්තේ උතුරේ මිනිසුන් තුළය. ඊට ද කරුණු කාරණා තිබේ. හැත්තෑව දශකයේ අග භාගයේදී එල්. ටී. ටී. ඊ. සංවිධානය මුලින්ම එකතු කරන ලද්දේ උතුරේ මිනිසුන් බිය වද්දා ඔවුන් සතුව බලපත්‍ර සහිතව තිබූ තනිකානුවේ තුවක්‌කුය.

මේ අවධියේදී බොහෝ මිනිසුන් අනාගතය පිළිබඳව බිය සැක පහළ කරන විට එවකට රජය කළ උදවිය කියා සිටියේ ද ජනතාව බිය නොවිය යුතු බවයි. ඔවුන් එකතු කරගන්නා අවිවලට වඩා රජයේ අවි බලය හා පිරිස්‌ බලය සිය දහස්‌ ගුණයකින් ඉහළ බවයි.

මිනිසුන් ඒ සියලු දේම දිනෙන් දින විශ්වාස කළත් අවසානයේදී ජනතාවට සිදු වූයේ වසර තිස්‌ ගණනක්‌ම අපාදුක්‌ විඳීමටයි. උතුරේ සාමාන්‍ය ජනතාව යළිත් වරක්‌ ඒ අපාදුක විඳීමට අකැමැති නිසා ඔවුන් යාන්තමට හෝ සිදුවන සිදුවීමකට බිය වීම අසාධාරණයක්‌ නොවේ.

මේ සතියේදී යාපනයේ මනිපායි ආනේකෝට්‌ටේ පත්තිනි අම්මාන් කොවිල් උත්සවයකදී ද ප්‍රසිද්ධියේම ඊළාම් සිතියම දේවරූප සමඟ වඩම්මවා තිබේ.

ඉතාම අලංකාර ලෙසට විදුලි බල්බ යොදා ඊළාම් සිතියම හැඩ ගන්වා තිබුණි. කෝවිලේ පෙරහැර මුළු ගමෙන් භාගයක්‌ම ගමන් කොට ආපසු කෝවිලට ඇතුළු වී පැය ගණනක්‌ යන තුරුත් පොලිසියට මේ ගැන ඉවක්‌ වැටී නොමැත.

පොලිසියට දැන් තොරතුරු ලැබීමෙන් පසුව ඒ ඊළාම් සිතියම පෙරහැරේ වඩම්මවන ලද පුද්ගලයා සොයමින් පරීක්‌ෂණ ආරම්භ කොට තිබේ.

යුද්ධය අවසන් වීමෙන් පසුව උතුරු පළාතේ නිතර නිතර සිදුවන මෙවැනි සිදුවීම් නිසා උතුරේ සාමාන්‍ය ජනතාවට ද දැන් සිදුව ඇත්තේ දෙගිඩියාව යන තත්ත්වයයි. යුද උපකරණ සමඟ ආරක්‌ෂක අංශවලට හසු වූ පිරිසගේ ඉලක්‌කය අරමුණ කුමක්‌ ද යන්න මේ වනතුරු පැහැදිලි නැති නිසා උතුරේ සාමාන්‍ය ජනතාව තව තවත් බියට පත්වෙති.

මේ ගැන යම් ප්‍රකාශයක්‌ වගකීමකින් යුතුව කෙරෙන්නේ නම් ජනතාවට මියෙම්වා..හෝ රැකෙම්වා හෝ යන තීරණයට එළඹිය හැකිය.

දිනසේන රතුගමගේ
« PREV
NEXT »