BREAKING NEWS
latest

728x90

468x60

Monday, July 02, 2018

විදුලිබල අමාත්‍යංශයේ ලේකම් විසින් මුදල් ඇමති මංගලත් නොමග යැවීමේ උත්සාහයක්

විදුලිබල අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ විසින් ව්‍යාජ තොරතුරු ඇතුලත් කරමින් සකස් කල වාර්තාවක් මත පදනම් වී මුදල් අමාත්‍යවරයා විසින් කෙරවලපිටිය මෙගාවොට් 300 එල්.එන්.ජී බලාගාරය ඉදිකිරීම සම්බන්ධ ටෙන්ඩරය වෙත නිරීක්ෂණයන් ලබා දී ඇති බව පාරිභෝගික අයිතීන් පිළිබඳ ජාතික ව්‍යාපාරය චෝදනා කලා. ඒ අද (02) පැවති මාධ්‍ය හමුවකදී. 

ආන්දෝලනාත්මක කෙරවලපිටිය බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩරය තාක්ෂණික ඇගයීම් කමිටුව සහ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශයන් නොතකා චීන සමාගමක් වෙත පැවරීමට විදුලිබල අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ විසින් කටයුතු කරමින් සිටින අතර විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් ඒ සදහා වන යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

එම යෝජනාව සම්බන්ධයෙන් සිය නිරීක්ෂණයන් ඉදිරිපත්කරන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම ටෙන්ඩරය චීන සමාගම වෙත පැවරිය යුතුය යන මතයේ සිට සිය නිරීක්ෂණ ඉදිරිපත් කර ඇතැයි අනාවරණය වී තිබේ. අමාත්‍යවරයාගේ එම තීරණය සදහා පදනම් වූ ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ වාර්තාව විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් සපයන ලද පදනම් විරහිත ව්‍යාජ කරුණු අඩංගු ලේඛනයක් බව පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ ජාතික ව්‍යාපාරය අනාවරණය කලා. 

තැටිය රත්වූ වෙලාවේ රොටිය පුච්චා ගත යුතුයි

එහිදී වැඩිදුරටත් අදහස් පළකල පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ නීති උපදේශක, මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති ආචාර්‍ය ප්‍රතිභා මහානාමහේවා මහතා ප්‍රකාශ කලේ දූෂණ විරෝධි තැටිය රත්වූ වෙලාවේ රොටිය පුච්චා ගත යුතු බවයි. මේ සම්බන්ධයෙන් රජය නිසි පියවර නොගෙන බලාගාරය චීනයට ලබාදුන හොත් සිය සංවිධානය පාරට බැසීමට වුවත් සූදානම් බව ඔහු ප්‍රකාශ කලා. 

මෙම බලාගාරයේ විදුලි ඒකකයක් සඳහා දේශීය සමාගම ඉදිරිපත් කර ඇති මිල රුපියල් 14.98 වන අත චීන සමාගම ඉදිරිපත් කර ඇති මිල රුපියල් 15.97කි. එම වෙනස නිසා මෙම බලාගාර ටෙන්ඩරය චීන සමාගමට හිමිවුවහොත් ශ්‍රී ලංකාවට ඉදිරි වසර 20ක කාලය තුලදී දැරීමට සිදුවන පාඩුව රුපියල් බිලියන 50ක් හෙවත් රුපියල් කෝටි 5000කි. 

භාන්ඩාරාග බැදුම්කර වංචාවෙන් සිදුවූ පාඩුව ලෙස සැලකෙන්නේ රුපියල් බිලියන 11 වන අතර ඒ අනුව මෙම බලාගාර ටෙන්ඩරයෙන් සිදුවන බිලියන 50ක පාඩුවේ විශාලත්වය ඕනෑම අයෙකුට අවබෝධ කරගත හැක. 

හෙට (03) දින මෙම බලාගාරය චීනයට පැවරීම සම්බන්ධයෙන් වන කැබිනට් යෝජනාව සාකච්ජා කිරීමට නියමිතව ඇති බවට වාර්තා වී තිබේ. 


LNG බලාගාරය ගැන පෙත්සම 11දා කැඳවයි

මේ අතර මෙම බලාගාරයේ ඉදිකිරීම් ටෙන්ඩරයට අවම ලංසුව ලබාදුන් සමාගම නොතකා හැර චීන සමාගමකට දීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි කියමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ සභාපතිවරයා ගොනු කළ කළ මුලික අයිතිවාසිකම් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 11 වැනි දා යළි කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (2) තීන්දු තීරණය කළේය.

මෙම පෙත්සම ඊවා වනසුන්දර ,විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ගොනු කළ මෙම පෙත්සෙම් අමාත්‍ය මණ්ඩලය , විදුලිබල ඇමැති රංජිත් සියඹලාපිටිය, එම අමාත්‍යාංශය ලේකම් සුරේන් බටගොඩ ඇතුළු පිරිසක් වගඋත්තරකරුවෝ වෙති.

මෙම ටෙන්ඩර් ලංසුව අවලංගු කර නව ටෙන්ඩර් කැඳවීම සිදු කරන ලෙසත්, සුදුසු වන්දි ලබා දෙන ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.
« PREV
NEXT »