BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, July 25, 2018

සිංහ නාද බලු කෙඳිරිලි

සිංහ නාද බලු කෙඳිරිලි කියන්නේ මොකක්දැයි කාටවත් අමුතුවෙන් කියා දෙන්නට උවමනා නැත. බැලූ බැල්මට එහි අර්ථය සැමට තේරුම්ගත හැක. දැන් මේ කතා කරන්නට යන්නේ මෙරට දේශපාලනයේ සිංහ නාද දෙන්නනන්ගේ බුලු කෙඳිරිලි පිළිබඳවය.

සාමාන්‍යයෙන් සිංහ නාද දෙන්නේ සිංහ සෙයියාවෙන් කටයුතු කළ හැකි අයවළුන්ය. සිංහ නාද දී සිංහ සෙයියාවෙන් කල් ගෙවන්නට බැරි අයවළුන් වැටෙන්නේ බලු ගානටය. බලු ගානට වැටෙන්නෝ ඉන්පසු සිංහ නාද නැඟුවද ඒවා ගැනේනේ බලු කෙඳිරිලි ගානමටය. සාමාන්‍යයෙන් බලු ගානටවැටෙන කිසිවෙකුටත් සිංහ නාද කළ හැකි නොවේ. ඒ හැටිය. සාමාන්‍ය ජීවිතයේ සේම දේශපාලනයේ ද එසේමය. මෙසේ කියන්නට සිදුවන්නේ මාධ්‍ය ඉදිරියේ විවිධ පුරසාරම් දෙඩූ රාජපක්ෂ පවුලේ කිසිවෙකුත් නිව්යෝර්ක් ටයිම්ස් විවාදය දා පාර්ලිමේන්තුව මඟ හැරීම නිසාය.

"අපේ පොරොන්දු පත්‍රයේ තියෙන සියලු කාර්යයන් කිරීම සඳහා අපට මුදල් තියෙනවා. මුදල් සොයාගන්න හැටි අපි දන්නවා. අනිත් එක බැරිවුණොත් අර මගේ එකවුන්ට් එකේ තියෙන බිලියන 18 කොහෙන් හරි හොයලා දුන්නම. නිකන් නෙමෙයිනේ අමෙරිකානු ඩොලර් නේ. විලිලැජ්ජා නැති මිනිස්සු. මම කිව්වා මනුස්සයෝ එක ඩොලරයක් තියෙනා කියලා ඔප්පු කළොත් පිහියක් අරගෙන මගේ බෙල්ල කපාගන්නවායි මම කියලා."2015 අගෝස්තු මාසයේ දවසක මෙසේ කීවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂය.

ඉන් නොනැවතී 2018 ජූනි 30 වැදිදා නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාව ගැන මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කියා සිටියේය. “නිව්යෝක් ටයිම්ස්’ පත්‍රයේ ගිය දෙයක් ගැන මට මඩක් ගහන්න පටන් අරන් තියෙනවා. එක ඩොලරයක්වත් හොයාගෙන ආවොත් මා බෙල්ල කපාගෙන මැරෙන්න වුණත් ලෑස්තියි’සියදිවි නසා ගන්න එක පාපයක් වුවත්, අප ඒ දේ කරන්න ලෑස්තියි”.

ඉන්පසු නීතීඥ නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුවේ සටහනක් තබමින් “චීනයේ සංවර්ධනය ලෝකයට සිදුකරන බලපෑමට බටහිර රටවල් බිය වෙලා. ලොව අංක එකේ කාර්යබහුලම නාවික මාර්ගයක හම්බන්තොට වරාය පිහිටීම නිසා තමවත් එය බටහිර ලෝකයේ ප්‍රබල මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. මෙඑට සම්පත් ලෝක බල අරගලයේ බිල්ලට දෙන දේශපාලන ඉත්තෙකු ලෙස යොදා නොගත යුතුයි”. යැයි කියා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රසිද්ධ අභියෝගයක් කරමින් “ මම නාමල් බබාට කියනවා කරුණාකරලා මේක බොරුවක් නම් එතුමාලට ඕනෑ තරම් සල්ලි තියෙනවා ජාත්‍යන්තර නීතිඥයෝ අරන් ගිහින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට එරෙහිව නඩු දාන්න කියලා මම කියනවා. මොකද ඉස්සර වගේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට ලියපු අය උස්සන්න සුදු වෑන් ඇමෙරිකාවට යවන්න බැරි වෙයි. ඒ නිසා මේක නීතියෙන් බොරුවක් කියල ඔප්පු කරන්න කියලා මම රාජපක්ෂ පවුලටම අභියෝග කරනවා.” යැයි පැවසීය.

මේ සියලු චෝදනාවලට සෘජුව පිළිතුරු බඳින්නට තිබූ 'ස්වර්ණමය'අවස්ථාව රාජපක්ෂලා සියලු දෙනාම හිතා මතා මඟහරිමින් වෙනදා කරනවා සේම තමන් වෙනුවට බිලි දෙන්නට සූදානම් කළ ඇමවල් එළියට දැම්මේය.

මෙලෙස මඟහැරීමේ කලාවේ රාජපක්ෂලා කෙළ පැමිණියෝ තවත් නොමැති තරම්ය. 2005 ජනාධිපතිවරණ සමයේදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රසිද්ධ විවාදයකට අභියෝග කළේය. 2010 වසරේදීත් සරත් ෆොන්සේකා මහතා රාජපක්ෂ මහතාට අභියෝග කළේය. ඔහු 2015දී මෛත්‍රීපාල සිරිසේන මහතා කළ අභියෝගයත් ඔහු මඟහැරියේය.

අයවැය විවාදවලදීත්, විශ්වාසභංග අවස්ථාවලදීත්, 19 වන සංශෝධනය අවස්ථාවේත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු පැමිණිය නැත. සමහර අවස්ථාවල පාර්ලිමේන්තු ආ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඡන්දය නොදී සිටියේය. ඒ අනුව බලන කළ මඟ හැරීම කලාවක් නම් රාජපක්ෂලා එහි පිකාසෝලා වේ යැයි කීවද වැරදි නැත.

එදා පාර්ලිමේන්තුවේ දී තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා රාජපක්ෂවරුන්ගේ මේ ක්‍රියාදාමය ගැන කීවේ මෙවැන්නකි. “විශේෂයෙන් අපි අද බලාපොරොත්තු වුනා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ ස්ථානයට පැමිණෙයි කියලා. හැබැයි අපි දන්න හැටියට එතුමා මේ වෙනකොට ඉන්නේ විදේශ ගත වෙලා. අපි පහුගිය කාලේ දැක්කා එතුමා ගමේ ගොඩේ විහාරස්ථානවල, ගමේ බෝක්කුවල හැම තැමන මම එක රුපියලක්වත් ගත්තේ නෑ. එහෙම ගත්ත නම් මම මගේ බෙල්ල කලා ගන්නවා වගේ වහසි බස් රාජ්‍යතාන්ත්‍රික භාවයට නොගැලපෙන රස්තියාදු කාරයෙකුගේ ස්වරූපයෙන් උත්තර දෙන හැටි අපි දැක්කා.”

පාර්ලිමේන්තු විවාදයට නොපැමිණ- රාජපක්ෂලා මාධ්‍ය සංදර්ශන පවත්වා දැන් පලක් නැත. දැන් අශ්වයා පැන ගොස් හමාරය. එසේ තිබියදීත් රාජපක්ෂලා තව තවත් මේ ගැන පුරසාරම් කියන්නට යනවානම් ඒත් කියන්නට තිබෙන්නේ ඒවා සිංහ නාද බලු කෙඳිරිලි පමණක්ම බවය.

දිලංක ගුණතිලක
« PREV
NEXT »