BREAKING NEWS
latest

728x90

468x60

Thursday, January 12, 2023

හිරේ ඉඳන් කුඩු බිස්‌නස්‌ බෑ - එල්ලන්න අත්සන් කරනවා - ඒක පවක් නෙමෙයි - ජනපති ගැටඹේදී පවසයි

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්‌ඩනය නියමවී දඬුවම් ලබමින් සිටියදීත් පුළුල් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්‌ඩනය ලබාදීමට ඉදිරියේදී ජනාධිපතිවරයා ලෙස තම අත්සන යොදන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 


මරණීය දණ්‌ඩනය පිළිබඳ බෞද්ධ සමාජයක්‌ ලෙස විවිධ මත පැවතියද, ලෝකයේ කිසිදු රටක නොමැති අන්දමින් බණ කියන සහ බණ අසන සමාජයක්‌ මෙතරම් වැරදි මග යනවා නම් එය පාලනය කිරීම සඳහා ගත යුතු තීන්දු තීරණ නිසි කලට ගත යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11 දා) පෙරවරුවේ මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවැති "මතට එරෙහිව පාසලෙන් ජවයක්‌" වැඩසටහනේ සමාරම්භක අවස්‌ථාවට එක්‌වෙමිනි. පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා ගැනීම සඳහා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය සහ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය එක්‌ව මෙම වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවනු ලබයි.


මෙහිදී අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ දේශපාලන විරුද්ධවාදීන් කුමන අන්දමින් පෙන්වා දුන්නද පසුගිය වසර තුන හමාර තුළ මේ රටේ මිනීමැරුම් සහ ස්‌ත්‍රී දූෂණ අඩුවී ඇති බවයි.

2008 වසරේ සිට ගෙවී ගිය වසර 10 තුළ සිදුවූ මිනිස්‌ ඝාතන පිළිබඳ ජාතික ආරක්‍ෂක මණ්‌ඩලයට ඉදිරිපත් කළ වාර්තාව පෙන්වා දෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ වත්මන් ආණ්‌ඩුව බලයට පත්වීමෙන් පසු මිනීමැරුම් සහ අපරාධ ඉහළ ගොස්‌ ඇති බවට ඇතැම් මාධ්‍ය ඉදිරිපත් කරන වැරදි මාධ්‍ය වාර්තා ඇතැම් දේශපාලනඥයන් ද තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිත කරන බවයි.

කෙසේ වෙතත් මිනී මැරුම් සහ ස්‌ත්‍රී දූෂණ ඉහළ යැමට මත්ද්‍රව්‍ය සේම සමාජ වෙබ් අඩවි ද අද ප්‍රධාන සාධකයන් වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම තත්ත්වයෙන් දරුවන් ආරක්‍ෂා කර ගැනීම සඳහා රජයේ මෙන්ම දෙමාපියන්ගේ ද ප්‍රමුඛ අවධානය යොමු විය යුතු බව සඳහන් කළේය.

යහපත් සහ මතින් නිදහස්‌ රටක්‌ ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළේදී පාසල් දරුවන් දැනුවත් කරමින් ඔවුන් සමාජයේ ප්‍රධාන පණිවිඩකරුවන් බවට පත් කළ යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළේ සාර්ථකත්වය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්‌ සැපයූ රාජ්‍ය නිලධාරීන් ඇගයීමට ලක්‌ කරමින් සම්මාන හා තිළිණ ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුවිය.

පේරාදෙණිය වෛද්‍ය පීඨයේ මුඛ පිළිකා ඒකකයේ ඉදිරි කටයුතු වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 20 ක මුදලක්‌ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා වෙත ලබාදීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි.

අමාත්‍ය ලක්‍ෂ්මන් කිsරිඇල්ල, ලකී ජයවර්ධන, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ජනක බණ්‌ඩාර තෙන්නකෝන්, බන්දුල යාලේගම යන මහත්වරුන් ඇතුළු දේශපාලන පක්‍ෂ භේදයෙන් තොරව මහනුවර දිස්‌ත්‍රික්‌කයේ දේශපාලන නියෝජිතයන් සහ මහනුවර දිස්‌ත්‍රික්‌ ලේකම් එම්.පී. හිටිසේකර මහතා ඇතුළු දිස්‌ත්‍රික්‌කයේ රාජ්‍ය නිලධාරීන්, ක්‍ෂේත්‍ර නිලධාරීන්, පොලිස්‌ සුරාබදු ඇතුළු සියලු ආරක්‍ෂක අංශ ප්‍රධානීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ පාසල් දරුවන් මෙන්ම ගම හදාගමු ග්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ ග්‍රාම සේවා වසම් 1188 ක නියෝජිතයන් 6000 කට වැඩි පිරිසක්‌ මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

සිරිල් විමලසුරේන්ද්‍ර සහ සමන්තී වීරසේකර

« PREV
NEXT »