BREAKING NEWS
latest

728x90

468x60

Friday, August 04, 2017

මෑත යුගයක දී නොදුටු මාධ්‍ය නිදහසක් මේ රට තුළ ස්ථාපිත කර තිබෙනවා

වත්මන් රජය බලයට පත්වීමත් සමඟම මේ රටේ මෑත යුගයකදී නොදුටු මාධ්‍ය නිදහසක් මේ රට තුළ ස්ථාපිත කර තිබෙන බව ඕනෑම කෙනෙකුට පැහැදිළි වන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.

රජයේ බලපෑමකින් තොරව මාධ්‍යවේදියාට සිය වෘත්තියේ ගරුත්වය රැක ගනිමින් කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය අද නිර්මාණය කර තිබෙන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.



ඇමැතියවරයා මේ බව පැවසූවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (02) බණ්ඩාරනායක ජාත්‍යන්තර අණුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් මෙහෙයවන, මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව, පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ 5 වැනි කණ්ඩායමේ සහතිකපත් ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.

වර්ෂ 1973 දී ආරම්භ වුණ මේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මේ දක්වා වසර 44ක කාලය පුරා සිය ආරම්භක අරමුණු පමණක් නොව කාලීනව සිදුකළ යුතු සුවීශේෂි වෙනස්කම් සිදුකරමින් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා අද්වීතීය සේවයක් ඉටු කරමින් පවතිනවා. මෙම ආයතනයේ වර්තමාන සභාපති කොග්ගල වෙල්ලාල මහතා ඒ කටයුත්ත අදත් ඉතාම දක්ෂ ලෙස ඉදිරියට ගෙනයනවා. එදා පැවැති ආණ්ඩු වගේම ඇතැම් දේශපාලන බලධාරීන්ගේ බලපෑම් වලට වරින් වර මේ පුවත්පත් මණ්ඩලය ලක්වුණා. දශක හතරක් පුරා පුවත්පත් නිදහස මෙන්ම ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කරමින් මාධ්‍ය වේදීන්ට අවශ්‍ය දැනුම ශික්ෂණය සහා ආචාර විධි හදුන්වාදෙමින් යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමේ අරමුණ ඇතිව මේ දක්වා මේ ආයතනය කටයුතු කර තිබෙනවා.

මාධ්‍ය නිදහස ආරක්ෂා කරනවා සේම එකී නිදහස අයුතු ලෙස වැළැක්වීමද පුවත්පත් මණ්ඩලයේ වගකීමක් ලෙස මාදකිනවා. ඒ වෙනුවෙන් විවිධ වකවානුවලදී මාධ්‍ය කලාව උදෙසා ආචාර ධර්ම හදුන්වා දී ඒ තුළින් කෙරෙන නෛතික බලකීරීමට වඩා ස්වයං විනයක් සහිත මාධ්‍යවේදියකු නිර්මාණය කිරීමට අවශ්‍ය පෙළඹවීම් මේ හරහා සිදු කර තිබෙනවා. ඉතිහාසය පුරා අප අත්දැකපු කාරණයක් තමයි විවිධ තහංචි නිතිරීති වගේම බලහත්කාර අතපෙවීම් හරහා බරපතළ ලෙස මාධ්‍ය නිදහස මේ රටේ වරින් වර වාරණයට ලක්වුණා මේ පිළිබඳව ස්වාධීන ලෙස ඉහළින්ම අගය කළ පත්‍ර කලාවේදීයෙකු වු ගුණදාස ලියනගේ මහතා 1993 දී පළ කරපු ලංකාවේ පුවත්පත් මෙල්ල කිරීමේ ඉතිහාසය යන කෘතිය තුළ වු වාක්‍ය කණ්ඩයක් යළි වතාවක් සිහිකිරීම අවශ්‍යයයි. ඒ මහතා ලිව්වා නිදහස් රටක ඒ නිදහස සුරක්ෂිත කර ගැනීමේ හොඳම මාර්ගයනම් ආණ්ඩුව හා පුවත්පත් අතර පවතින සදාකාලික මිත්‍රත්ව ගැටුමෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයකි. මේ දෙපාර්ශ්වයම සදාකාලිකව සටන් කරනවා විනා යම් විදියකින් එක් පක්ෂයක් ජයග්‍රහණය ක‍ළහොත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ පරාජයක් හැටියට එතුමා එදා සඳහන් කළා අපේ රටේ පුවත්පත් හා රජය අතර පැවැතී අරගලය පිළිබඳව ගුණදාස ලියනගේ මහතා තැබූ සටහනක් මා කියෙව්වේ. මේ පිළිබඳ කරුණු විමර්ශනය කරන ඕනෑම කෙනෙකුට පැහැදිලි වන කාරණය තමයි අපේ රජය පත්වුණාට පසු 2015 ජනවාරි මස 08 වෙනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වීමත් සමඟම මේ රටේ මෑත යුගයකදී අපි නොදුටු මාධ්‍ය නිදහසක් මේ රට තුළ ස්ථාපිත කර තිබෙනවා.රජයේ බලපෑමකින් තොරව මාධ්‍යවේදීයට සිය වෘත්තියේ ගරුත්වය රැක ගනිමින් කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය අද නිර්මාණය වී තිබෙනවා. අපි දන්නවා ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය තුළ ඉතාමත්ම අඳුරු, භීෂණකාරී වගේම බරපතළ මාධ්‍ය මර්දනයක් සහිතව ගෙවුන රාජ්‍ය පාලන කාලය තුළ මාධ්‍ය නිදහස කියන වචනය පවා මර්දනය කැඳවීමට තරම් ප්‍රමාණවත් මාධ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් හැටියට සැලකුණා. පසුගිය පාලන කාලය තුළ මොනතරම් භිහිසුණු මාධ්‍ය මර්දනයක් ක්‍රියාත්මක කළාද කියහොත් මාධ්‍යවේදීන් 13දෙනකු මේ කාලය තුළ ඝාතනය කළා. එක් මාධ්‍යවේදීයකු අතුරුදන් කළා අදටවත් සොයා ගන්න බැරි ආකාරයකට ඒ තමයි ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා. රාජපක්ෂ පාලනයේ බලහත්කාරයට අවනතනොවු මාධ්‍යවේදියෝ 84දෙනෙකු විවිධ පහර ‍දීම් වලට අඩන්තේට්ටම් වලට ගොදුරු වු කාලයක් මේ බොහෝ අය නොමරා මැරුවා බොහෝ අය සිරගත වුණා. ලංකා ඊ නිව්ස්, සිරස, ඩේලි නිව්ස්, සියත වගේ මාධ්‍ය ආයතන හතරටම පහරදීම් සිදුකළා. තවත් මාධ්‍ය ආයතන ගණනාවකට රාජපක්ෂ පවුලේ තර්ජන ඒල්ල කළා. 2006 ජනවාරි 24 වෙනිදා සුඩරෝලි පුවත්පතේ ත්‍රිකුණාමලයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු වු සුබ්‍රමනියම් වෙඩිතබා ඝාතනය කරමින් ආරම්භ කළ මාධ්‍යවේදී ඝාතන ලයිස්තුව සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව ක්‍රියාත්මක වුණා.ප්‍රවීණ මාධ්‍යවේදියකු වු සන්ඩේ ලීඩර් පුවත්පතේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම පිළිබඳ පරික්ෂණ මේ වන විටත් සිදුවෙමින් පවතිනවා. විවිධ රජයේ වගකිවයුතු පුද්ගලයන් සෘජුවම සම්බන්ධ බව මේ වන විටත් පැහැදිලිවම අනාවරණය වෙමින් තිබෙනවා. දකුණේදී පොද්දල ජයන්ත, උතුරේදී කීත් නොයාර් වගේ බරපතළ මාධ්‍ය මර්දනයක් දියත් කරා විතරක් නෙමෙයි ඕනැම අයෙකුට ඇසූ පමණින් මරබිය දැනෙන සුදු වෑන් සංස්කෘතියක් ක්‍රියාත්මක කළා. එවැනි අති බිහිසුණු සංස්කෘතියක් කාලපරිච්ඡේදයක් අවසන් කර තමයි 2015 ජනවාරි 08 වෙනිදා අපේ ජනාධිපතිතුමා මේ රටේ බලයට පත්වුණේ. ශ්‍රී ලංකාවම එකම පවුලක ගුබ්බෑයමක් කියා හිතාගෙන එදා කටයුතු කළ නපුරු දශකයේ ආදර්ශයන් ඔලුවේ තියාගෙන සිටින අඳුරු සෙවනැලි තවම සක්මන් කරන බවත් අපිට හොඳින් පේනවා. රටක් විදියට අපි ලෝකය ඉදිරියේ දියුණු මිනිසුන් ලෙස කටයුතු කරන්නට නම් ඒ නිවට වැඩවසම් වහල් ගෝත්‍රික මානසික මානසිකත්වය මුලු මහත් සමාජයෙන්ම අතුගා දැමිය යුතු වෙනවා. මතවාදීව පරාජය කළ යුතු වෙනවා. එදා පැවැති භිෂණ සමයට සාපේක්ෂව අද වෙන විට තත්ත්වය විශාල වෙනස්කම් වලට ලක්ව තිබෙනවා. ප්‍රධානතම දේ තමයි මාධ්‍ය මර්දනයට තිත තැබීම.

අද රජය හෝ ජනාධිපතිවරයා හෝ ඇමැතිවරු විවේඡනය කළා කියා සුදු වෑන් පස්සෙන් එන්නේ නැහැ. මාධ්‍යවේදීන් අතුරුදන් කිරීම්, ඝාතනය කිරීම් සිරගත කිරීම් පිළිබඳ වාර්තා අද අපිට අහන්න කියවන්න ලැබෙන‍්නේ නැහැ. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය මර්දනය වාරණය කරන්න තිබුණු යුගය අවසන්. ක්ෂණික තොරතුරු ජනතාවට ලබාදීමේ තාක්ෂණය හරහා ඉදිරිපත් කිරීම තුළින් වාරණය කියන වචනය ඇත්ත වශයෙන්ම විසි වෙනි සිය වසට ඉතිහාසය විසින් සීමා කරනවා. ඒ නිසාම වාරණය කරන්න දන්න නිසා තමයි මාධ්‍යවේදීන්ට විශාල වශයෙන් වගකීමක් පැවරෙනවා ප්‍රවෘත්ති විකෘති කිරීමෙන් තොරව වාර්තා කරන්න. මේ සංස්කෘතිය නිසා ජනමාධ්‍යවේදීන්ට වගකීමක් පැවරෙනවා. අපි දැක්කා ඉතිහාසය පුරාම මාධ්‍යවල වරින් වර පොඩි පොඩි බොරු කියනවා. සත්‍ය විකෘති කරනවා එය මාධ්‍ය කලාවේ හැමදාම තිබුණු ක්ෂේත්‍රයක් නමුත් අද ඊට හාත්පසින්ම වෙනත් දෙයක් ඇතිවෙලා තිබෙන්නේ. අද කරුණු විකෘති කරනවා නෙමෙයි අද කරුණු නිෂ්පාදනය කරනවා. මේකයි වෙනස. විකෘති කිරීමක් තුළින් යම් කිසි සත්‍යයකුත් පදනම් වෙලා තිබෙන බවට අපිට පිළිගන්න වෙනවා. නමුත් අද බොහෝ සමාජ ‍මාධ්‍ය සහ සමහර පුවත්පත් දිහා බැලුවොත් කිසිම සත්‍යයකින් තොර ප්‍රවෘත්ති නිෂ්පාදනය කිරීමත් සමහර පුවත්පත් වෙබ් අඩවි ප්‍රවෘත්ති නිෂ්පාදනය කිරීමේ ෆැක්ටරි බවට පත්වී තිබෙනවා. ඒ නිසා තමයි මෙය ලංකාවටම සීමා වෙලා නෑ ලෝකයේම දියුණු බටහිර ප්‍රජාතන්ත්‍රවාදි රටවලටත් අද තිබෙන ලොකුම අභියෝගය ප්‍රජාතන්ත්‍රවාදයට තිබෙන ලොකුම අභියෝගය තමයි මේ බොරු ප්‍රවෘත්ති සංස්කෘතිය. අන්න එහෙම නම් විශේෂයෙන්ම මෙතනින් උපාධිය ලබාගන්නා ජනමාධ්‍යවේදීන් මෙරට දියුණු වු සමාජයක් බවට පත් කරන්නට නම් ජනමාධ්‍ය කලාවේ ගෞරවය යළි වතාවක් ඒ කලාවට ඒ ක්ෂේත්‍රයට ලබා දෙන්න ඕන. ආචාර ධර්ම හෝ නීති පනවන්න යන්නේ නැහැ සමාජයේ යහපත් පැවැත්මට ඔබලා විසින්ම මෙවැනි නීති රීති පනවාගෙන ජනතාවට සත්‍ය ලබාදෙන්නට කටයුතු කළ යුතුයැයිද වැඩිදුරටත් පැවසීය.

මහා සංඝරත්නය, නියෝජ්‍ය ඇමැතිවරුන් වන ලසන්ත අලගියවන්න, කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ද,රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය, ඉන්දියානු පුවත්පත් මණ්ඩලයේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චන්ද්‍රමෞලි කුමාර්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියරත්න දොඹගහවත්ත, ගාමිණි සුමනසේකර යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් ද, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති කොග්ගල වෙල්ලාල බන්දුල මහතා ඇතුළු එහි සාමාජිකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.
« PREV
NEXT »