BREAKING NEWS
latest

728x90

468x60

Monday, August 14, 2017

රනිල් අගමැතිතුමා තමන් නිරත ක්ෂේත්‍රය අර්ථවත් කළ නායකයකු බව අවිවාදිතයි

වසර හතළිහක් පුරා අඛණ්ඩව දේශපාලන ක්ෂේත්‍රයේ සක්‍රීයව නිරතව සිටිමින් අග්‍රාමාත්‍යය ධුරය ඇතුළු ප්‍රධාන තනතුරු රැසක් දැරූ රනිල් වික්‍රමසිංහ මහතා තමන් නිතර වූ ක්ෂේත්‍රය අර්ථවත් කළ වටිනා නායකයකු බව අවිවාදිත කරුණක් යැයි මල්වතු පාර්ශ්වයේ අනුනායක, සාහිත්‍යය චක්‍රවර්ති, ආචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියෝ පැවසූහ.

මෙරට ජනතාව‍ගේ ආකල්ප හා අවශ්‍යතාවන් හොඳින් තේරුම් ගත් නායකයකු වන එතුමන් ශාසනික වශයෙන් උදාර සේවයක් කළ කීර්තිමක් පවුලකින් පැවැත එන ශ්‍රේෂ්ඨ දේශපාලනඥයකු බව ද උන්වහන්සේ කීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ජීවිතයට වසර 40 ක් සපිරීම කේන්ද්‍ර කර ගනිමින් ඒ මහතාගේ ඉදිරි දේශපාලන ජීවිතයට ආශිර්වාද පතා ඊයේ (13) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමේ ‍පුණ්‍යෝත්සවයේ දී මල්වතු අනුනාහිමියෝ මේ බව පැවැසූහ.

ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ශ්‍රී දළදා මාලිගාවේ බෞද්ධ කෞතුකාගාරය දැකබලා ගැනීමට ගිය අගමැතිවරයා අනතුරුව ශ්‍රී දළදා මාලිගාවේ දාන ශාලාවේ දී පැවැති දානමය පුණ්‍යකර්මයට ද එක්විය.

පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මේ වැඩසටහන සංවිධානය කර තිබිණි.

අස්ගිරි මහනායක වරකාගොඩ ඤාණරතන මහනාහිමි ප්‍රමුඛ උභය මහා විහාරීය අනුනායක හිමිවරු සිවුනම ඇතුළු මහා සංඝරත්නය මේ අවස්ථාවට එක්ව සිටියහ.

තම දේශපාලන භූමිකාව තුළ ඉවසීම හා ධෛර්ය නිරතුරුව ප්‍රකට කළ වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව නිතර ආමන්ත්‍රණය කළේ ඉතා බුද්ධිමත්ව බව කවුරුත් පිළිගන්නා බව ද අනුනාහිමියෝ ප්‍රකාශ කළහ.

සිවු වරක් මෙරට අගමැති ධුරයට පත් වූ වික්‍රමසිංහ මහතා දේශපාලන ක්ෂේත්‍රය තුළ ඉතිහාස ගතවන පුද්ගලයකු බව ද උන්වහන්සේ කීහ.

නිදහසින් පසු මෙරට පාලනයට පත් වූ ජන නායකයන් අතර අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් නොසැලී කටයුතු කළ එතුමන්ට ශ්‍රී ලංකාවේ අනාගත සුබ සිද්ධිය ඇති කිරීම පිණිස ශත්කිය ධෛර්ය ඇති බවත් ඒ සඳහා මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම ප්‍රමුඛ උභය මහා විහාරීය මහා සංඝරත්නයේ ආශීර්වාදය නිරතුරුව හිමි වන බවත් විජිතසිරි හිමියෝ ප්‍රකාශ කළහ.

මෙරට අදත් ක්‍රියාත්මක වන්නේ ජේ. ආර්. ජයවර්ධන මහතා 1977 බලයට පත්ව හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ බවත් එදා තරුණ දේශපාලනඥයකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජේ. ආ. ආණ්ඩුවට එක්ව අත්දැකීම් ලබා ගනිමින් අද පරිණත දේශපාලනඥයකු බවට පත්ව ආර්ථික දියුණුව පිණිස විශාල වැඩ කොටසක් සිදු කරන බවත් උන්වහන්සේ කීය.

වර්තමානයේ රනිල් වික්‍රමසිංහ මහතා රටේ අගමැති ධුරය දරන්නේ අභියෝග රාශියක් මධ්‍යයේ බවත් තමන් අධ්‍යාපනයෙන් හා අත්දැකීම්වලින් ලබාගත් දැනුම් සමභාරයත්, ආකල්පත්, දේශීය හා විදේශීය වශයෙන් පවත්නා විශ්වාසය හා පිළිගැනීමත් නිසා රටේ අනාගත අභිවෘද්ධිය පිණිස කටයුතු කරන්නට වික්‍රමසිංහ මහතාට ඒකාන්ත වශයෙන්ම හැකි බවත් අනුනාහිමියෝ අවධාරණය කළහ.

දේශපාලනයට බුදු දහම සම්බන්ධව පවත්නා අකාරය පිළිබඳව අගමැතිතුමන් තුළ පැහැදිලි අව‍බෝධයක් පවතින බවත් අනුරාධපුර මහා විහාර සම්ප්‍රදායේ සිට අවසන් රාජධානිය වූ මහනුවර දක්වා මේ සම්බන්ධතාව අඛණ්ඩව පැවැති බවත් උන්වහන්සේ කීහ.

නිවැරැදි හා අර්ථවත් තීන්දු ගැනීමට වික්‍රමසිංහ මහතාට සුවිශේෂී හැකියාවක් ලැබී ඇත්තේ නිසි අධ්‍යාපනය තුළින් හා කීර්තිමත් පවුල් පසුබිමින් බවත් අනුනාහිමියෝ ප්‍රකාශ කළහ. සැප සම්පත් යහමින් ඇති පවුලක උපත ලද මුත් වික්‍රමසිංහ මහතා අධ්‍යාපනය ලැබුවේ මෙරට දී බවත් මේ නිසාම එතුමාට මෙරට ජනතාවගේ ආකල්ප හා සිතුම් පැතුම් තේරුම් ගැනීමට හැකියාව ලැබී තිබෙන බවත් උන්වහන්සේ කීහ.

ප්‍රසිද්ධිය තකා පින් දහම් නොකරන එතුමා මල්වතු පාර්ශ්වයේ හිටපු මහනායක අපවත්වී වදාළ රඹුක්වැල්ලේ ශ්‍රී විපස්සී මහනාහිමියන් දළදා වහන්සේ වැඩසිටින කුටියට රනින් කළ මල් ආසනයක් පූජා කළ අවස්ථාවේ එය සකස් කිරීමට රන් පවුම් විශාල ප්‍රමාණයක් එතුමා පූජා කළ බව ද විජිතසිරි හිමියෝ පැවැසූහ.

දළදා මාලිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණය කිරීමට එතුමා යළිත් දායකත්වය ලබාදීමට පොරොන්දුවී තිබෙන බවත් මහා සංඝරත්නය මේ ක්‍රියා අගයන බවත් උන්වහන්සේ කීහ. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී හිමියෝ අනුශාසනාවක් සිදුකරමින්, නියෝජ්‍ය ඇමැතිවරයකු, ඇමැතිවරයකු, පක්ෂ නායකයකු, විපක්ෂ නායකයකු, අගමැතිවරයකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා වසර 40 ක දේශපාලන දිවිය තුළ විවිධ අභියෝග ජය ගනිමින් අර්ථවත් දේශපාලන ගමනක් පැමිණ තිබෙන්නේ යැයි කීහ.

එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි කරන්නට දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කළ ඒ මහතා පළාත් සභා, පාර්ලිමේන්තු හා ජනාධිපති මැතිවරණවලට මුහුණ දෙමින් නොයෙකුත් අභියෝග හමුවේ දේශපාලන ගමන පැමිණි බව මෙරට ගිහි පැවිදි උභය පාර්ශ්වයම හොඳින් දන්නා බව ද අනුනාහිමියෝ ප්‍රකාශ කළහ.

විපක්ෂය නියෝජනය කරන සමයේදී ද ජනතාවට කළ හැකි සේවය උපරිමයෙන් කරන්නට කැප වූ වික්‍රමසිංහ මහතා අගමැති නිලයෙන් තොරව ද විවිධාකාර සේවාවන් සිදු කරන බව උන්වහන්සේ කීහ.

සිදුහත් කුමරුන් උපන් නේපාලයේ සිදුකෙරෙන පුරා විද්‍යාත්මක කැනීම් සඳහා ශ්‍රී ලංකා රජය ද ධනය වැය කරන බවත් එහි දී අගමැතිවරයා නොපැකිලිව අදාළ කටයුතුවලට සහාය ලබා දෙන බවත් ධම්මදස්සී හිමියෝ ප්‍රකාශ කළහ. ජත්‍යන්තර වෙසක් සැමරුම් උත්සවය අති සාර්ථකව පැවැත්වීම සඳහා එතුමා වත්මන් බුද්ධ ශාසන ඇමැතිවරයාට ලබාදුන් සහාය නිරතුරුව මහා සංඝරත්නයේ පැසසුමට ලක්වන බව ද උන්වහන්සේ කීහ.

බුදු දහමට හා සම්බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය ලබා දීමට රජය ව්‍යවස්ථාවෙන් බැඳී සිටින බවත් ලක්දිව බුදු සසුන ප්‍රතිෂ්ඨාපනය වූ දා පටන් රජවරු එය ප්‍රමුඛස්ථානයේ ලා ක්‍රියා කළ බවත් පැවැසූ අනුනාහිමියෝ වත්මන් රජය ද එය වටහා ගෙන ක්‍රියා කරනු ඇතැයි විශ්වාස කරන බව ද අවධාරණය කළහ.

මේ අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල් කුඹුරේ විමලධම්ම, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි යන හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නයද, අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, මලික් සමරවික්‍රම, ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරාළ, නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ප්‍රධාන ඇමැති සරත් ඒකනායක යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. අගමැතිවරයා මහනුවර මීරාමක්කම් මුස්ලිම් පල්ලිය වෙත ද ගොස් ආගමික වතාවත්හි නිරත විය.
« PREV
NEXT »