BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, September 13, 2017

බලාගාර හොරු සමඟ 2020 දී රටම අඳුරට ගෙන යන samsung සහ නිලධාරීචාදය

දැනට කාර්‍යබහුල අවස්ථාවන්හීදී මෙගාවොට් 2300 පමණ වන ශ්‍රී ලංකාවේ දෛනික බලශක්ති අවශ්‍යතාවය, 2021 වසර වන විටදී මෙගාවොට් 3100 පමණ වනු ඇති බවට විදුලි බල අමාත්‍යංශය විසින් පුරෝකථනය කර තිබේ. ගොඩනැගෙමින් තිබෙන විශාල තට්ටු නිවාස සහ සාප්පු සංකීර්ණ, වරාය නගරය සහ කාර්මික ජනපද වල විදුලි අවශ්‍යතාවය ඉහළයාම නිසා මෙගාවොට් 800 පමණ අතිරේක විදුලි බලයක් නිපදවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරි වසර කිහිපයේදී ශ්‍රී ලංකාවට සිදුවනු ඇත.

වසර කිහිපයකට පෙර සකස් කරනු ලැබු අනාගත බලශක්ති අවශ්‍යතාවය සැපිරීම සඳහා ශ්‍රී ලංකාව ගතයුතු ක්‍රියාමාර්ග සහ ඉදිකල යුතු බලාගාර පිළිබඳ සැලසුම ප්‍රකාරව 2015 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුල නව විදුලි බලාගාර දෙකක් අලුතින් ඉදිකිරීමට යෝජිතව තිබූ අතර අලුතින් ඉදිකිරීමට සැලසුම් කල බලාගාර ද්විත්වයෙන් ත්‍රිකුණාමලය සාම්පූර් විදුලි බලාගාරය අදියර දෙකකින් යුක්ත වූ අතර එම අදියර දෙකෙන් මෙගාවොට් 500 ක විදුලිබලයක් ජාතික පද්දතියට ලබාදීමට සැලසුම් කෙරිණි. නමුත් ගොඩනැගුණු ප්‍රබල මහජන විරෝධය හමුවේ එම බලාගාරය ඉදිකිරීම අත්හිටුවන ලදි.

ඉදිකිරීමට නියමිත මීළඟ බලාගාරය වනුයේ කෙරවලපිටිය සංයුක්ත චක්‍ර විදුලිබලාගාරය(Combined Cycle Power Plant) වන අතර එය මෙගාවොට් 300ක ධාරිතාවයකින් යුතු බලාගාරයකි. ආරම්භයේදී සමාන්‍ය ඉන්ධන වලින් විදුලිය නිපදවන මෙම බලාගාරය අවශ්‍ය අවස්ථාවකදී ස්වාභාවික ද්‍රව ගෑස් (LNG)යොදාගනිමින් විදුලිය නිපදවිය හැකි අයුරෙන් නිර්මාණය කෙරෙනු ඇත.

LNG බලාගාරයේ ටෙන්ඩර් අර්බුදය -

ඉදිරි වසර 25 සඳහා ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා ඉදිකිරීමට නියමිත කෙරවළපිටිය,මෙගවොට් 300ක ධාරිතාවයකින් යුතු නව ස්වාභාවික වායු විදුලි බලාගාරය සඳහා ටෙන්ඩර් කැඳවීමෙන් පසුව එහි ඇගයීම් කටයුතු වලදී ඉතා සූක්ෂමව සැලසුම් කල බරපතල ගණයේ වංචාවක් සිදුවෙමින් තිබෙන බව පසුගිය සමයේදී මෙරට ජනමාධ්‍ය තුල දැඩි ලෙස කතාබහට ලක්විය.
.
කෙටි කලකට ඉහතදී සමාජයේ දැඩි ලෙස කතාබහට ලක්වූ කූප්‍රකට ගල් අගුරු වංචාවට සම්බන්ධ වී ශ්‍රේෂ්ඨාධීකරණයේ උදහසට ලක්වූ බී.එම්.එස්. බටගොඩ සහ ජී.එස් විතානගේ යන නිලධාරීන් ප්‍රධානීත්වය උසුලනු ලබන ඩී. තිලකසේන, විමලේන්තිරාජා, ජී. ආර්. එල්. වසන්ත යන නිලධාරීන්ගෙන් සමන්විත ටෙන්ඩර් කමිටුවේ මෙම වංචාව සිදුවී තිබේ. විදුලිබල මණ්ඩලයේ සහ ක්ෂේත්‍රයේ දැනුම සහිත ඉංජිනේරුවරුන්ගෙන් සමන්විත තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් නිර්දේශ කරනු ලැබූ සමාගම් හයෙන් පහක් නොසලකා හැර කොරියාවේ සමාගමකට මෙම ටෙන්ඩරය ලබාදීම සඳහා මෙම නිලධාරීන් විසින් කටයුතු කර ඇත.

සමාගම් හයක ටෙන්ඩර් පත්‍රිකා විවෘත කල යුතු බවට තාක්ෂණික ඇගයීම් කමිටුව කොන්දේසි විරහිතව ඉතා පැහැදිලිව නිර්දේශ කර තිබියදී ලෝකයේ දූෂිතම සමාගමක් ලෙස හංවඩු ගැසූ වැඩිම ලංසුව සහ අඩුම කාර්‍යක්ෂමතාවය සහිත සැලසුම ඉදිරිපත් කල සැම්සුන්ග් සමාගමේ ටෙන්ඩර් පත්‍රිකාව පමණක් විවෘත කිරීමට මෙම රාජ්‍ය නිලධාරීන් මෙවන් ප්‍රබල උත්සාහයක් දරන්නේ ඇයි? සමාගම් හයක් තරගකාරී ලෙස මිළගණන් ඉදිරිපත් කර තිබියදී එක් සමාගමක ටෙන්ඩර් පත්‍රිකාව පමණක් විවෘත කිරීම සුදුසුද?

මහජන මුදලින් වැටුප් ලබන රාජ්‍ය නිලධාරීන්ගේ පරම වගකීම වනුයේ අඩුම මිලගණන් යටතේ ඉහළ කාර්යක්ෂමතාවයකින් විදුලිය උත්පාදනය කළ හැකි බලාගාරයක් නිර්මාණයට හැකියාව ඇති සමාගම තෝරා අවම පිරිවැයක් රජයට දැරීමට සිදුවන පරිදි මෙම බලාගාර ටෙන්ඩරය ලබාදීමය. එවැනි වගකීමක් ඇති රාජ්‍ය නිලධාරින් රටට වැඩිම පාඩුවක් වන ලෙසට සහ මහජන මුදල් බිලියන ගණනක් විනාශ වන ලෙස ක්‍රියා කරන්නේ මන්ද යන්න විශාල ප්‍රශ්නයකි. 

සැම්සුන්ග් සමාගම විසින් ඉදිරිපත් කල ටෙන්ඩර් පත්‍රිකාව පමණක් විවෘත කර අනෙකුත් සමාගම්වල මිල ගණන් විවෘත නොකර තනි ටෙන්ඩර් මිලකට අදාල ගණුදෙනුව සිදුකිරීමට උත්සාහ කල අතර එය මෙරට ඉතිහාසයේ සිදුවූ දූෂිතම ගණුදෙනුවක් ලෙස සැළකේ. වාර්තා වන අන්දමට මෙම බලාගාරය ඉදිකිරීම සඳහා වූ ඉහළම ලංසුව ඉදිරිපත් කර ඇත්තේ ද සැම්සුන්ග් සමාගමය. එසේම අඩුම කාර්‍යක්ෂමතාවය (ඉහළම ඉන්ධන දහනය ) සහිත සැලසුමද සැම්සුන්ග් සමාගමේ සැලසුමයි.

සැම්සුන්ග් සමාගමේ ප්‍රධානියා විසින් දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනියට ඩොලර් බිලියන ගණනක අල්ලස් ලබාදීම පිළිබඳව වූ චෝදනා ඔප්පුවීම නිසා සිර දඩුවම් විදීමට සිදුවී ඇති අතර සැම්සුන්ග් සමාගම සැලකෙන්නේ අල්ලස් ලබාදී ව්‍යාපෘති අනුමතකර ගැනීමට උත්සාහකරන අසාදු ලේඛනගත කරන ලද සමාගමක් ලෙසය.

ඉදිරි වසර 25 දී ශ්‍රී ලංකාවේ විදුලි බල අවශ්‍යතාවය සැපිරීම සඳහා මෙගාවොට් 300 ධාරිතාවයකින් යුත් විදුලි බලාගාරයක් කෙරවලපිටියේ ඉදිකිරීම සඳහා වන අදාල ටෙන්ඩරය ලද සමාගම විදුලි බලාගාරයේ ඉදිකිරීම් අවසන් කොට විදුලිබල ජාතික පද්ධතියට ලබාදීම ආරම්භ කල විට ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් එම විදුලිය මිලදී ගනු ලබයි. මෙම ගනුදෙනු වල වටිනාකම රුපියල් බිලියන ගණනක් වනු ඇත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් විසින් මෙම බලාගාර ටෙන්ඩරය පමා වීමේ සැබෑ හේතුව වන දූෂිත රාජ්‍ය නිලධාරීන්ගේ වංචනික මැදිහත්වීම් සියල්ල සඟවමින් දේශපාලකයින් විසින් දේශපාලන හේතූන් මත මෙම ටෙන්ඩරය පමා කරන බවට මාධ්‍යයට තොරතුරු අනාවරණය කර ඇත. කූප්‍රකට ගල් අගුරු වංචාවේදී නීලකාස හොරුන් ලෙස කීර්ති තෙන්නකෝන් මාධ්‍ය තුල යටිගිරියෙන් කෑ ගැසූ සුරේන් බටගොඩ, ජී.එස්. විතානගේ ඇතුලු දූෂිත නිලධාරීන් දැන් කීර්තිට යුක්තිගරුක, කෘතහස්ත රාජ්‍ය නිලධාරීන් වූයේ කෙසේද යන්න ප්‍රශ්නාර්ථයකි.

හදිසියේම කීර්ති තෙන්නකෝන් මෙලෙස රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වා අනියමින් කියන්නේ දූෂිත සැම්සුන්ග් සමාගමට ටෙන්ඩරය ලබාදිය යුතු බව නොවේද?

රටට ගෙවීමට සිදුවන වන්දිය

සුරේන් බටගොඩ සහ ජී. එස්. විතානගේ යන නිලධාරීන් විසින් ඉතාමත්ම වංචනික ලෙස මෙම බලාගාර ටෙන්ඩරය සැම්සුන්ග් සමාගමට ලබාදීමට කටයුතු කිරීම සහ චේතාන්විතව මෙම බලාගාරය ඉදිකිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද කිරීම පසුපස සරළ කොමිස් කතාවට එහා ගිය දැවැන්ත දූෂණයක් සිදුවෙමින් තිබේ.

1. මෙම බලාගාරය ඉදිකිරීම් ටෙන්ඩරය තාක්ෂණික ඇගයීම් කමිටුව අනුමත කල අනෙකුත් සමාගම් අතහැර වැඩි මිලක් සහ අඩු කාර්‍යක්ෂමතාවයක් සහිත සැම්සුන්ග් සමාගමට ලබාදීම හරහා බලාගාරය ඉදිකිරීමෙන් පසුව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලිය මිලදී ගැනීමේදී වසරකට රුපියල් බිලියන 8.5 ක අලාභයක් සිදුවනු ඇති අතර එය බලාගාරයේ ගිවිසුම් කාලය වන වසර 20 පුරා රුපියල් බිලියන 170 පමණ අලාභයක් රටට සිදුවනු ඇත.

2. මෙම බලාගාරය ඉදිකිරීම් ටෙන්ඩරය ප්‍රමාද කිරීම හරහා ඉදිරියේදී ඇතිවන බලශක්ති ඉල්ලුමට නිසි පරිදි සැපයුමක් ලබාදීමට ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයට නොහැකි වනු ඇති අතර එහි ප්‍රතිපලයක් ලෙස "හදිසි මිලදී ගැනීම්" සිදුකිරීමට විදුලිය බල මණ්ඩලයට සිදුවනු ඇත. මෙම හදිසි මිලදී ගැනීම් සදහා මෙගාවොට්300ක් වෙනුවෙන් වසරකට රුපියල් බිලියන 15ක පමණ අතිරේක පිරිවැයක් දැරීමට රටට සිදුවේ.

රට අදුරේ හෙළමින් බලශක්ති සුරක්ෂිතතාවය අවදානමේ හෙළන මෙවන් දූෂිත ගණුදෙනු දැක නොදැක්කා සේ සිටීම අපේ පරම්පරාව පමණක් නොව අනාගත පරපුරද අවධානමට ලක්කරන්නකි. සියලු පුරවැසියන් සහ මාධ්‍ය ආයතන එක්ව මේ මහා වංචාවන්ගෙන් රට ගලවාගැනීමට ඉක්මනින්ම කටයුතු කල යුතුය. දැන් වඩාත්ම යෝග්‍ය ක්‍රියාව වනුයේ බොරු තර්ක ඉදිරිපත් නොකර තාක්ෂණික ඇගයීම් කමිටුවේ උපදෙස් පරිදි ඉතිරි සමාගම් පහේද ටෙන්ඩර් පත්‍රිකා විවෘත කර අවම ලංසුව ඉදිරිපත්කල සමාගමට ටෙන්ඩරය ලබාදී කඩිනමින් බලාගාරය ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සකස් කිරීමය.
« PREV
NEXT »