BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, November 07, 2017

බාල තෙල් නැව ගන්න කියා අර්ජුනට බලපෑම්කල ඩීල් ඇමත් කවුද?

ඉන්දීය ඔයිල් සමාගම ආනයනය කළ ප්‍රමිති පරීක්ෂාවෙන් අසමත් වූ ඉන්ධන නෞකාව රට තුළට ගන්නැයි තමාට විශාල ලෙස දේශපාලන බලපෑමක් පැමිණි බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ (6දා) පැවැසීය.

පෙට්රල් අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා දෙමටගොඩ පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

අමාත්‍යවරයා හැටියට නොවේ මේ රටේ පුරවැසියෙක් විදිහට මම මේ ටික පවසන්න ඕනේ. මෙම බලපෑම සම්බන්ධයෙන් මම ජනාධිපතිවරයාවත් අගමැතිවරයාවත් දැනුවත් කළාම ඔවුන් කිව්වේ හරි දේ කරන්න කියලා. යැයිද අර්ජුන රණතුංග මහතා සඳහන් කළේය.

මෙම බලපෑමට පෙට්රල් නෞකාව ඇතුළට රැගෙන අනෙකුත් පෙට්රල් සමඟ මිශ්‍ර කර ගැසුවේ නම් මේ රටේ මීට වැඩි අර්බුදයක් ඇති වන බවද අමාත්‍යවරයා කීවේය. පසුගිය කාලයේද බාල තෙල් රට තුළට ගැනීමෙන් ඇතිවූ විපාක හේතුවෙන් නැවත එවැනි දෙයක් සිදු වීමට ඉඩ හැරීමට තමාට එකඟ වීමට නොහැකි බවද අර්ජුන රණතුංග මහතා පැවැසීය.

සිදුවුණු මෙම අර්බුදකාරී තත්ත්වයේ වගකීම තමා භාර ගන්නා බවත් ඒ පිළිබඳව තමා කනගාටුවට පත් වන බවත් මහජනයාට සිදුවූ අපහසුතාව ගැන තමා සමාව අයදින බවත් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

එසේම ඇතැම් පිරිස් කෙටි පණිවුඩ හරහා මෙම තත්ත්වය අර්බුදයක් දක්වා වර්ධනය කළ බවද හෙතෙම පැවැසීය.

එම කෙටි පණිවුඩත් සමඟ ඉන්ධන හල්වල දිගු වාහන පෝලිම් සෑදුණු බවත් එම නිසා ඉන්ධන ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ ගිය බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ලබන 8දා රාත්‍රිය වන විට ඇණවුම් කළ පෙට්රල් නෞකාව මෙරටට ළඟා වීමට නියමිත බවද එහි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් මෙට්රික් ටොන් 32,500ක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් මෙට්රික් ටොන් 7500ක් තිබෙන බවද අමාත්‍යවරයා පැවැසීය.

ලබන 9දා පස්වරුව වන විට පෙට්රල් බෙදා හැරීම සාමාන්‍ය අතට පත් කළ හැකි බවද ඔහු කීය.

ඊයේ වන විටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පෙට්රල් මෙට්රික් ටොන් 10,000ක සංචිතයක් ගබඩා කර තිබුණු බවද හෙතෙම පැවැසීය.

ඩීසල් හිඟයක් නැති බවත් ඇතැම් ඉන්ධන හල් හිමියන් විසින් ඩීසල් බෙදීමද නතර කර ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.


ඉදිරියේදී මෙම ක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
« PREV
NEXT »