BREAKING NEWS
latest

728x90

468x60

Friday, December 29, 2017

31 වැනිදාට එන්නේ බැඳුම්කරේ සංක්ෂිප්ත වාර්තාවක්? - මහේන්ද්‍රන්, රවී ඇතුළු විශාල ගණනකට වැඩ වරදී?

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳ දීර්ඝ විමර්ශනයක යෙදුණු ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව අනිද්දා (31දා) ජනාධිපතිවරයාට භාරදීමට නියමිතව තිබුණද අවසන් වාර්තාව වෙනුවට සංක්ෂිප්ත වාර්තාවක් එදිනට ජනාධිපතිවරයාට භාරදීම කෙරෙහි කොමිසමේ අවධානය යොමුව ඇති බැව් වාර්තාවේ.

කොමිසමේ සභාපති ජේ‍යෂ්ඨ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ. ටී. චිත්‍රසිරි මහතාත් සෙසු සාමාජිකයන් වන ජේ‍යෂ්ඨ ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චයකාර ප්‍රසන්න විජයවර්ධන මහතා සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ යන මහත්වරුන්ද කොමිෂන් වාර්තාව කඩිනමින් පිළියෙල කිරීමේ කටයුතු දිරිගන්වමින් කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේ රාත්‍රි 7-8 පමණ වනතුරුත් මේ දිනවල රැඳී සිටින අතර ඊයේද ඇඳිරි වැටෙනතුරුත් ඒ අයුරින්ම ඔවුන් කාර්යාල පරිශ්‍රයේ විවිධ කටයුතු මෙහෙයවමින් සිටිනු දැක ගත හැකිවිය.

කෙසේ වෙතත් වාර්තාව පිළියෙල කිරීමේ කටයුතුවල දිවා රෑ වෙහෙසෙන කොමිසමේ ලේකම් නීතිඥ සුමතිපාල උඩුගමසූරිය මහතාද, සෙසු කාර්ය මණ්ඩලයද දිගින් දිගටම එම කටයුතුවල යෙදී සිටින අයුරුද අපට දැකගත හැකි විය.

එසේ වුවද අනිද්දා (31දා) යින් නිමාවීමට නියමිත කොමිසමේ අධිකාරි පත්‍රයේ කාලය තවදුරටත් දීර්ඝ කර ගැනීම සඳහා ඊයේ (28දා) සවස් වනතුරුත් කොමිසම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

වාර්තාවෙන් මහේන්ද්‍රන්, රවී ඇතුළු එජාපයේ විශාල ගණනකට වැඩ වරදී?

31 වනදා ඉදිරිපත් කිරීමට නියමිත බැඳුම්කර කොමිසමේ වාර්තාව යම් හෙයකින් ඉදිරිපත් නොවුණහොත් ඊට දේශපාලන අතගැසීමක් පවතින බව දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි.

අදාළ වාර්තාවට කිසිදු දේශපාලන අතගැසීමක් සිදු නොවුණහොත් එකී වංචාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් සහ මන්ත්‍රි රවි කරුණානායක මහතා ඇතුළු එජාපයේ විශාල ගණනකට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව සමරසිංහ මහතා පෙන්වා දෙයි.

මෙම වාර්තාව පදනම්ව නෛතික ක්‍රියාමාර්ග අතපසු කරන්නේ නම් ඊට එරෙහිව අධිකරණයට යෑමට තම සංගමය කටයුතු කරන බවත් පළාත් පාලන මැතිවරණය අබිමුව තබාගෙන විවිධ කොමිසම් පත් කර බැඳුම්කර වාර්තාව යටපත් කිරීමට ඉඩ නොදිය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.


ලබන 31 වැනිදා මෙම වාර්තාව ජනපතිවරයා විසින් රටට හෙළිදරව් කිරීමත්, ඊට අදාළ වූවන් සහ වංචාවේ ස්වභාවයද ජනතාවට පෙන්වා දීම අනිවාර්යයෙන් කළ යුතු බවද සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසී ය.
« PREV
NEXT »