BREAKING NEWS
latest

728x90

468x60

Sunday, November 27, 2016

ජාති,ආගම් භේද ඇති කරන්න ඉඩ දෙන්නේ නෑ - CBK

පටු අවශ්‍යතා මත පුරවැසියන්ට නිග්‍රහ කිරීමට හා ජාති ආගම් භේද ඇති කිරීමට ශ්‍රී ලංකාව තුළ කිසිදු ඉඩක් නොදෙන බව ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.
මාධ්‍ය නිවේදනක් නිකුත් කරමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තවදුරටත් මෙසේද සඳහන් කරන්නීය.
ශ්‍රී ලංකාවේ මෑත කාලයේදී දක්නට ලැබෙන දිනෙන් දින ඉහළ යන වෛරී අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශයේ (ONUR) අවධානය යොමු වී ඇත. දශක ගණනාවක ලේ වැගිරීම් හා විනාශයන්ට අනතුරුව මුළු රටම එකාවන්ව සමඟිව හා සංහිඳියාව කරා යන ගමන මෙවන් සිදුවීම් තුළින් අභියෝගයට ලක් කිරීම කණස්සල්ලට කරුණකි.

තම තමන්ගේ පටු අදහමස් මුදුන්පත් කර ගනු පිණිස වෛරී අදහස් ප්‍රකාශ කිරීම හා ක්‍රියාවන් තුළින් අපගේම සහෝදර ශ්‍රී ලාංකික පුරවැසියන් අවමානයටත් නිග්‍රහයටත් පත් කර ජාති හෝ ආගම් පදනම් කර භේදකාරී වාතාවරණයක් ඇති කිරීමට ශ්‍රී ලාංකේය සමාජය තුළ කිසිම ඉඩක් ලබාදිය නොහැක.
ප්‍රථම වතාවට රජයක් විසින් ඉතා පැහැදිලිවම කල් පවත්නා සාමයත්, සංහිඳියාවත් තුළින් එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අරමුණ ප්‍රකාශයට පත් කර ඇත. සියලු ජනවර්ග අතර සංහිඳියාව ඇති කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ වේ. මෙම ප්‍රවේශය 2015 වසරට පෙර පැවති කාලයේ රාජ්‍ය පාලකයින් විසින් ජනවර්ග අතර වෛරය හා ජාතිවාදය ඇති කිරීමට අනුබල ලබාදීම සහ සහෝදර ශ්‍රී ලාංකිකයින්ට සිදුවන අඩන්තේට්ටම්වලට වගකිව යුත්තන්ට එරෙහිව පියවර නොගැනීමට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රවේශයකි.
ශ්‍රී ලංකා රජය සහ සියලු ජනතාව එක්ව යහපාලනය පදනම් කර ගත් සමාජයක් නැවත ගොඩනැගීමේ ප්‍රශස්ත උත්සාහයක යෙදී සිටින්නා වූ මෙවන් වකවානුවක අභියෝග රාශියක්ම ජයගත යුතුව ඇත. ඒ අතරම 2015 ජනවාරි මාසයෙන් පසුව විවර වී ඇති අවස්ථාවන් සහ හිතකර සමාජ දේශපාලන වාතාවරණය ප්‍රගතිශීලී ලෙස භාවිතා කළ යුතුව ඇත.
ජාතියක් වශයෙන් අපට උරුම විය යුතු සංවර්ධනය ආර්ථික අභිවෘද්ධිය සහ දේශපාලන ස්ථාවරභාවය උදාකර ගැනීමට නම් සියලුම දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයින්ගේ එකමුතුවෙන් හා නායකත්වය ලබාදීමෙන් සාමය සංහිඳියාව සහ ජනහිතකාමී සාධනීය අවංක පාලන තන්ත්‍රයක් සාක්ෂාත් කර ගැනීම අත්‍යාවශ්‍ය වේ.
බහු වාර්ගික, බහු ආගමික රටක් ලෙස ශ්‍රී ලංකාවේ අප එකිනෙකා අතර ඇති වෙනස්කම් පිළිගනිමින් අපගේ සමෘද්ධිමත් වූ විවිධත්වය සැමරිය යුතුය. සෑම පුරවැසියෙකුගේම අයිතිවාසිකම් භුක්ති විඳීමේ අවස්ථාව ඇති ශ්‍රී ලාංකිකයින් ලෙසින් පොදුවේ ආඩම්බර විය හැකි සමානාත්මතාවය හා අන්‍යෝන්‍ය ගෞරවය සහිත වූ එකමුතු අනාගත දේශයක් ගොඩනැගීම සඳහා වූ කෙටි මධ්‍යම හා දිගු කාලීන ක්‍රියාමාර්ග රාශියක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළුසමස්ත රජයම වෛරී අදහස් ප්‍රකාශ කිරීම ගැන තම බලවත් අප්‍රසාදය පළ කර ඇති අතර ඒ සඳහා කිසිම ඉඩක් නොමැති බව පැහැදිලිවම ප්‍රකාශ කර ඇත. ජන කොටස් අතර භේද ඇති කිරීම සඳහා ජාති හා ආගම්වාදී පදනම් මත ප්‍රකෝප කිරීම් කරන්නන් සම්බන්ධව නීතිය අප්‍රමාදව තදින් ක්‍රියාත්මක කළ යුතුව ඇත.
වෛරය හා වෛරී ක්‍රියාවන් සඳහා ජනයා පොළඹවන කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සිවිල් සමාජය හා ආගමික නායකයින් විසින් ගෙන ඇති ඉතා ප්‍රගතිශීලී ක්‍රියාමාර්ගයන් අප අගය කරමු.
ජනතාව අතර පටු ජාතිවාදී අදහස් ප්‍රචලිත කිරීමට උත්සාහ ගත්, ජනකොටස් දෙකකට අයත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිම ගැන අගය කරන අතරම මෙවන් සියලුම සිද්ධින් වලට සම්බන්ධ පුද්ගලයින්ගේ සමාජ දේශපාලන ආගමික පසුබිම හෝ තරාතිරම නොසලකා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.
තවද පසුගිය කාලය පුරාවටම සිදුවූ මෙවන් වෛරී අදහස් ප්‍රකාශ කිරීම හා ක්‍රියාවන් සම්බන්ධයෙන් බොහෝ පැමිණිලි විවිධ පාර්ශ්වයන් විසින් සාක්ෂිද සමඟ ඉදිරිපත් කර ඇතත් ඒ ගැන වු විමර්ශන සහ නීතිමය කටයුතු සිදු කිරීමේ ප්‍රමාදයන් ගැන ද අවධානය යොමු කරවනු කැමැත්තෙමු. මෙම සිද්ධීන් ගැන නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් ඉක්මන් ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපේක්ෂා කරමු.
ස්ථාවර, සමෘද්ධිමත්, බහුවාර්ගික ශ්‍රී ලාංකික දේශයක් ගොඩනැගීමට අදිටන් කරමින් යන්නා වූ මෙම ගමනට බාධා කිරීමට කිසිම ජන කොටසක ජාතිවාදී හෝ අන්තවාදී පිරිස්වලට ඉඩ නොදෙන බව අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අගමැතිතුමා කැර ඇති ඉතා පැහැදිලි ප්‍රකාශයන් අගය කරන්නෙමු.
මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රජය සමඟ අත්වැල් බැඳගන්නා ලෙස සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිමු
« PREV
NEXT »