BREAKING NEWS
latest

728x90

468x60

Sunday, November 19, 2017

බැඳුම්කර බෝම්බයෙන් ආණ්ඩුව පුපුරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයාබලන ජනාධිපති කොමිසම හමුවට අගමැතිවරයා කැඳවීමට වාතාවරණයක් උදා කිරීමත් කෝප් කමිටුවේ ඇතැම් සාමාජිකයන් බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ අය සමඟ දුරකතන සංවාද පවත්වා තිබෙන බවට කොමිසම හමුවේ තොරතුරු අනාවරණය වීමත් සමඟ යහපාලන ආණ්ඩුවේ දැඩි මතභේදයක් මෙන්ම අර්බුදකාරී තත්ත්වයක් ප්‍රබල ලෙසම මතුව තිබෙන බව එජාප - ශ්‍රී ලනිප දෙපාර්ශ්වයේම ආරංචි මාර්ග කියයි.

ජනපති කොමිසම මඟින් එජාපය දේශපාලන වශයෙන් විනාශ කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවට එජාපයේ ජේ‍යෂ්ඨයන් කිහිපදෙනකු පෙරේදා රැස්වී දීර්ඝ සාකච්ඡාවක් කළ බවද වාර්තා වේ.

ලබන සතියේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම රැස්කර මේ පිළිබඳව සාකච්ඡා කළ යුතු බවට එජාප පසුපෙළ මන්ත්‍රින් පිරිසක් නායකත්වයෙන් ඉල්ලීමක් කිරීමටද සූදානම් වෙන්.

අර්ජුන් ඇලෝසියස් මහතා සමඟ දුරකතන සංවාද පැවැත්වූ බවට කොමිසමේදී නම් හෙළිවුණු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ප්‍රකාශ කර තිබෙන්නේ කිසිදු පදනමක් නොමැතිව මෙම තොරතුරු මාධ්‍ය මඟින් ප්‍රචාරයට පත්වීම නිසා තමන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බවයි.
මේ අතර කෝප් කමිටුව නියෝජනය කරන ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ මේ දුරකතන සංවාදවල හඬපට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් බැඳුම්කර කොමිසමට ලබාදිය යුතු බවයි. එවිට නියම සත්‍ය සොයාගත හැකි බවද ජයසේකර අමාත්‍යවරයා පවසයි.

බැඳුම්කර කොමිසමෙන් දැනට හෙළිවෙමින් පවතින තොරතුරු හා ඉදිරියේදී තවදුරටත් හෙළිවීමට නියමිත තොරතුරු අනුව එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් සාපක්ෂය අතර ප්‍රබල මතභේද ඇතිවීමට ඉඩ තිබෙන බවත් එයින් සම්මුතිවාදී ජාතික ආණ්ඩුවට යම් අනතුරුදායක තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙන බවත් දේශපාලන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වෙයි.

මේ අතර කෝප් කමිටුවේ සාමාජිකයන් කිහිපදෙනකුට අර්ජුන් ඇලෝසියස් දුරකතනයෙන් කතාකර උදවු උපකාර ඉල්ලා සිටියේ නම් ඒ මන්ත්‍රිවරුන් ඒ අවස්ථාවේදීම කෝප් කමිටුව දැනුවත් නොකළේ මන්දැයි නීති අංශවලින් ප්‍රශ්න කරන්නට පටන්ගෙන තිබේ. එම මන්ත්‍රිවරුන්ට මේ සම්බන්ධයෙන් බලපෑමක් කළේ නම් එය පාර්ලිමේන්තු වරප්‍රසාද බරපතළ ලෙස උල්ලංඝනය වීමක් බැවින් එය දඬුවම් ලැබිය යුතු වරදක් බව පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කිහිපදෙනෙක්ම "ඉරිදා මව්බිමට" පැවැසූහ. එවැනි තත්ත්වයක් තිබියදී එම මන්ත්‍රිවරුන් නිහඬව සිටීමද සැකයට තුඩු දෙන්නක් බවද ඔවුහු පවසති.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාට බලකර සිටින්නේ මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ වී තිබෙන බවට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සාක්කි කොමිසම ඉදිරියේ දිවුරුම් දී කරන ප්‍රකාශවලින් තහවුරු වී තිබෙන බැවින් යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වී ශ්‍රී ලනිපය ප්‍රමුඛව රටට හිතවත් ප්‍රගතිශීලී ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතු බවයි.
කොමිසමෙන් අනාවරණය වී තිබෙන තොරතුරු අනුව බැඳුම්කර මගඩියට සම්බන්ධ සියලු දෙනා ඉවත්කොට අලුත් ආණ්ඩුවක් පිහිටුවන ලෙසට ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාට බල කරන බවද ඉදිරි සතියේදී මේ පිළිබඳව ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වමින් ජනතාව දැනුවත් කිරීමට ක්‍රියා කරන බවද ඒකාබද්ධ විපක්ෂයේ මුල්පෙළ නායකයෝ කිහිපදෙනෙක්ම පැවැසූහ.

මේ අතර භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධව කෝප් කමිටුව පරීක්ෂණ සිදුකරන අතරතුර එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පස්දෙනකු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකතන සංවාද පැවැත්වීම ගැන පරීක්ෂණයක් කිරීම කෙරෙහි කතානායක කරු ජයසූරියගේ අවධානය යොමු වෙයි.
ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් සී.බී. රත්නායක මන්ත්‍රිවරයා පෙරේදා (17දා) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් කෝප් කමිටු සාමාජික මන්ත්‍රිවරුන් පස්දෙනාගේ දුරකතන ගනුදෙනු සිදුකිරීම ගැන වෙනම පරීක්ෂණයක් පවත්වනවාදැයි ප්‍රශ්න කළ අවස්ථාවේ කතානායකවරයා ඒ ගැන අවධානය යොමු කරන බව පැවැසීය.

(ඉරිදා මව්බිම)
« PREV
NEXT »