BREAKING NEWS
latest

728x90

468x60

Thursday, November 02, 2017

මෙහෙයුම් කමිටුවේ වාර්තාව රට ‍බෙදන රහස් ලියවිල්ලක් නොවේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව හදිසියේ ඉදිරිපත් කරන, රට ‍බෙදන රහස් ලියවිල්ලක් නොවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (01) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

ඉතිහාසයේ ප්‍රථම වතාවට සියළු පක්ෂවල එකඟත්වයෙන් ඉදිරිපත් කළ යෝජනාවලිය ව්‍යවස්ථා කෙටුම්පතක් හෝ නීති කෙටුම්පතක් නොවන බවද පැවසීය.

ජනතාවගේ පුළුල් සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් හා මහජනතාවගේ අනුමැතියෙන් නව ව්‍යවස්ථාව සකසන බවත් සියල්ල සිදුකරනුයේ ජනතා අභිමතය පරිදි බවත් අගමැතිවරයා අවධාරණය කළේය.

ව්‍යවස්ථා සම්පාදනයට ජාතික එකඟතාවක් තිබිය යුතු අතර රටේ භෞමික අඛන්ඩතාවය හා ඒකීය භාවය ආරක්ෂා කරමින් විසඳුම් සොයමු යැයි සඳහන් කළ අගමැතිවරයා ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති සියළු යෝජනා වලට තමන් එකඟ බවත් පැවසීය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳ සිව්දින විවාදයට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථා සම්පාදක අතුරු වාර්තාවට ඉදිරිපත් කර ඇති යෝජනා වල සඳහන් පරමාධිපත්‍ය බලය,බුද්ධාගමට ඇති තැන, හා පළාත් බලතල පිලිබඳ ද්‍රවිඩ ජාතික සන්ධානයත් ජනතා විමුක්ති පෙරමුණත් එකඟත්වය ප්‍රකාශ කර ඇතිබව සඳහන් කළේය.

එබැවින් සියලු පක්ෂ හා කණ්ඩායම් එකඟ යෝජනාවලියට ඒකාබද්ධ විපක්ෂයට විරුද්ධ වීමට කිසිඳු හේතුවක් නොමැති බවත් වික්‍රමසිංහ මහතා පෙන්වාදුන්නේය.

උතුරු නැගෙනහිර හෝ වෙනත් පළාත් දෙකක් ඒකාබද්ධ කරන්නේනම් හෝ පළාත් වෙන්කරන්නේ නම් එයද සිදුවිය යුත්තේ මහජන අභිමතය පරිදි බවත් අගමැතිවරයා පැවසීය.
« PREV
NEXT »