BREAKING NEWS
latest

728x90

468x60

Thursday, January 11, 2018

තරුණ ව්‍යවසායකයන් බිහි කිරීම සඳහා සහන පොලී මත ණය ලබාදීම මාර්තු මස අරඹනවා - මංගල

ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය වැඩිකිරීම සඳහා තරුණ ව්‍යවසායකයන් බිහිකිරීමේ අරමුණින් යුතුව 2018 අයවැයේ ප්‍රධාන යෝජනාවක් වන "ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා" වැඩසටහන මාර්තු මස අරඹන බව පැවසූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා, මේ සඳහා ණය යෝජනා ක්‍රම 15 ක් යටතේ තරුණ ව්‍යවසායකයන් හට සහන පොලී අනුපාත සහ රජයේ ඇපකර මත රුපියල් මිලියන 60,000 ක පමණ මූල්‍ය ආධාර පහසුකම් ලබාදෙන බවත් පැවසීය.

ව්‍යසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන යටතේ තරුණයන්ට, කාන්තාවන්ට හා විශේෂ හැකියා ඇති පුද්ගලයන්ට තමන්ගේ යැයි ව්‍යාපාර ඇරඹීමට සහ කෘෂිකර්මාන්තය, කර්මාන්ත හා ධීවර ඇතුළු ඕනෑම ක්ෂේත්‍රයක කර්මාන්ත හෝ ව්‍යාපාර ඇරඹීම සඳහා 75% ක සහනදායී පොලීමත රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා ණය ලබාදෙනු ලැබේ. මෙම සහනදායී පොලිය රජය මගින් දරනු ලබන අතර එකී පොලිය ගෙවීම සඳහා රු. මිලියන 5,000 ක් භාණ්ඩාගාරය විසින් වෙන්කර තිබේ.

මේ පිළිබඳව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් විසින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු ප්‍රධානීන් හා උසස් නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ඊයේ (10) දා මහා භාණ්ඩාගාරයේදී පවත්වන ලදී.

ස්වයං රැකියාව ඇතුළු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශය පුළුල් කිරීම සඳහා ක්ෂේත්‍රයට පිවිසීමේදී ප්‍රාග්ධන පිරිවැය හා ණය ලබාගැනීම සඳහා ඇප තැබීමට නොහැකි වීම හේතුවෙන් බැංකු මගින් ණය ප්‍රතික්ෂේප වීමට මින් මතුවට රජය ඉඩ නොතබන බව ද අමාත්‍යවරයා බැංකු ප්‍රධානීන් වෙත දැනුම් දුන්නේය.

ව්‍යාපාරිකයන්ගෙන් බැංකු අපේක්ෂා කරන ඇප රජය විසින් ලබාදීමට කටයුතු යොදා ඇති බැවින් මින් මතුවට ව්‍යාපෘති යෝජනාවේ ශක්‍යතාවය පමණක් සැලකිල්ලට ගෙන සහන පොලී පදනම මත ණය ලබා දීමට හැකිවන පරිදි රජය විසින් ණයකරුවන් වෙනුවෙන් ඇපකරයක් නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.

ව්‍යාපාර හා කර්මාන්ත ක්ෂේත්‍රයට කාන්තා සහභාගීත්වයද ලබාගැනීමේ අරමුණින් ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහනට එක්වන කාන්තාවන්ට ණය ලබාදීමේදී 75% ක පොලී සහනයට අමතරව තවත් 10% ක අතිරික්ත පොලී සහනයක්ද, විශේෂ හැකියාවන් ඇති පුද්ගලයන්හට 15% ක අතිරික්ත පොලී සහනයක්ද රජය විසින් භාණ්ඩාගාර ඇපකර සමගින් ලබාදීමට තීරණය කර තිබේ.
« PREV
NEXT »