BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, February 07, 2018

රටේ ඒකීයභාවය සුරකිනවා මිස රට කැඩීමට ඉඩ තබන්නේ නෑ - ජනපති


ජාතික සමඟිය සහ සංහිඳියාව තහවුරු කරමින් ඒකීය රටක් ගොඩනැගීමට ගෙනයන වැඩපිළිවෙළේදී රටේ ඒකීයභාවය සුරකිනවා මිස කිසිදු අවස්ථාවක රට කැඩීමට ඉඩ නොතබන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. රට කඩන සහ රට බෙදන බවට දේශපාලන වේදිකාවේ ගෙන යන සටන් පාඨවල කිසිදු සත්‍යතාවක් නොමැති අතර ජනතාව එම බොරු ප්‍රචාරවලට හසු නොවිය යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව ප්‍රකාශ කළේ ඊයේ (06) පස්වරුවේ මාතර හක්මන ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

උතුරේ ෆෙඩරල් ක්‍රමයක් පිළිබඳ හඬක් නැඟුණේ අද ඊයේ නොවන අතර එය දීර්ඝ කාලයක් පුරා නැගුණු හඬක් බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා කිසිදු රජයකින් ඊට ඉඩක් නොලැබුණා සේම රට කැඩීමට හා බෙදීමට කිසිවෙකුට අවශ්‍ය වුව ද තමාගෙන් ද කිසිසේත් ඊට ඉඩක් නොලැබෙන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

සැමදා මේ රට ආරක්ෂා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව පැවසූ ජනාධිපතිතුමා හෙට දවසේ ද අන් සියලු දේශපාලන පක්ෂවලට වඩා රට ආරක්ෂා කරන දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව ද පැවසීය.

ජනාධිපති කාර්යාලයේ සේවකයන් 400 දෙනෙකුට තමන් රැකියා අහිමිකළ බවට හිටපු නායකයා රූපවාහිනි වැඩසටහනකට කළ ප්‍රකාශය ද සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ තමන් ජනාධිපති ධූරයට පැමිණෙන විට ජනාධිපති කාර්යාලයේ වැටුප් ලබා ගන්නා සේවකයින් 1600 දෙනෙකු සිටී අතර ඔවුන්ගෙන් 400 දෙනෙකු ජනාධිපති කාර්යාලයෙන් පිටත සිට වැටුප් ලබා ගත් බවයි.

එම සේවකයින් සුදුසු ස්ථාන වෙත අනුයුක්ත කර ඔවුන්ගේ වෘත්තිය ආරක්ෂා කිරීමට පියවර ගත්තා මිස කිසිවෙකු රැකියාවෙන් ඉවත් නොකළ බව ජනාධිපතිතුමා පැවසීය. එක්සත් ජාතික පක්ෂයට අයත් අමාත්‍යාශවල සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තිය සමිති සාමාජිකයින් රැකියාවලින් ඉවත් කළ විට ඊට ද මැදිහත් වූ තමා එම සේවකයන් සියලුදෙනා ආපසු බඳවාගත්තා පමණක් නොව කොන්ත්‍රාත් පදනම මත සිටී සේවකයින් ස්ථීර කිරීමට ද පියවර ගත් බව ජනාධිපතිතුමා සිහිපත් කළේය.

එමෙන්ම විදුලි පුටුව පිළිබඳ තර්ජනය තවම අවසන් වී නොමැති බවට හිටපු නායකයා එම රූපවාහිනි වැඩසටහනේදී කළ ප්‍රකාශය ද සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ කිසිවෙකු විදුලි පුටුවට ගෙනයෑමට තමා ඉඩ නොතබන අතර ජාත්‍යන්තරයේ සියලු දෙනාගේ සහය ලබා ගනිමින් එම පරිච්ඡේදය අවසන් කර දැමූ බවයි.

රටේ ප්‍රගතිශීලි ජනතා ව්‍යාපාරය බිඳ දමමින් එහි වාසිය දූෂිත දේශපාලනඥයින්ට ලබාදීමට අලුත් පක්ෂ පිහිටුවාගෙන සිදු කරන දේශපාලන කුමන්ත්‍රණවලට හසු නොවී පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් පෙළගැසෙන්නැයි ද මෙහිදී ජනාධිපතිතුමා සමස්ත ජනතාවට ආරාධනා කළේය.

2018 පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජනහමුව සංවිධානය කර තිබුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් නායක, හක්මන ආසන සංවිධායක රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් සංවිධානය කර තිබූ මෙම ජනහමුවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, චන්දිම රාසපුත්‍ර, හේමාල් ගුණසේකර, විජය දහනායක, නිලංග හෙන්දවිතාරණ, මනෝජ් සිරිසේන, එච්.ජී. සිරිසේන යන මහත්වරු ද ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරී රැසක් ද එක්ව සිටියහ.
« PREV
NEXT »