BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, February 21, 2018

ජවිපෙ හා ඒකාබද්ධය විසින් හවුල් ආණ්‌ඩු ගිවිසුම කල් පැනලා යැයි කථානායකට පැමිණිලි කරයි - ඇමැති තීරණ පනත් දැන් බල රහිතයි - කථානායකගේ තීරණය අද

එජාපය හා ශ්‍රීලනිපය අතර අත්සන් කළ හවුල් ආණ්‌ඩු ගිවිසුම පසුගිය දෙසැම්බර් 31 දාට පසු යළි අලුත්කර නැති නිසා ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් විසින් ගනු ලබන තීන්දු තීරණ හා ඉදිරිපත් කරන පනත් බල රහිත බව ජනතා විමුක්‌ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (20 දා) පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය මහතාට පැමිණිලි කළේය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව ඇමැති ධුර සංඛ්‍යාව තිහට වඩා සහ නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැති ධුර සංඛ්‍යාව හතළිහට වඩා වැඩිකර ගත හැක්‌කේ ජාතික ආණ්‌ඩුවක්‌ පවතින්නේ නම් පමණක්‌ බව කී විපක්‍ෂ මන්ත්‍රීවරු නමුත් මේ වන විට ජාතික ආණ්‌ඩු ගිවිසුම අහෝසිවී ඇතැයිද කීහ.

ජාතික ආණ්‌ඩුව අලුත් කරමින් ගිවිසුමක්‌ අත්සන් කළ බවක්‌ තමන්ට දැනුම්දී නැතැයි මෙහිදී ප්‍රකාශ කළ කතානායකවරයා ඒ පිළිබඳව සොයා බලා අද (21 දා) සභාවට දැනුම් දෙන බවද කීවේය.

රීති ප්‍රශ්නයක්‌ මතුකරමින් අනුර කුමාර දිසානායක මහතා මෙම කරුණ සභාව හමුවේ ඉදිරිපත් කළේය. හෙතෙම වැඩිදුරටත් මෙසේද කීවේය.

දහනව වැනි සංශෝධනය අනුව ජාතික ආණ්‌ඩුවක්‌ තිබේනම් පමණයි ඇමැති මණ්‌ඩලය තිහට වඩා වැඩි කළ හැක්‌කේ. අවුරුදු දෙකකට තමයි ඇමැති ධුර සංඛ්‍යාව තිහට වැඩිකර ගන්න හා නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැති ධුර හතළිහට වඩා වැඩිකර ගන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත්තේ. ජාතික ආණ්‌ඩුවක්‌ ගොඩනැඟෙන්නේ අවුරුදු දෙකකට කීවා.

දැන් යළි අනුමැතියක්‌ ගත යුතුයි මේ ඇමැති සංඛ්‍යාව වැඩිකර ගන්න. ජාතික ආණ්‌ඩුව දීර්ඝ කළ බවට කථානායකට දැනුම් දීලාත් නෑ. අපි ඇමැතිවරුන්ගෙන් ප්‍රශ්න අහනවා. මේ ඇමැතිවරු වලංගුද? නිසි පරිදි පත් කළ ඇමැතිවරු නෑ. ඔවුන්ගේ බලය පිළිගන්න අපි සූදානම් නෑ. ශේ්‍රෂ්ඨාධිකරණයට ගියොත් මේ ඇමැතිවරුන් ගත් තීරණ කිසිම වලංගු භාවයක්‌ වන්නේ නෑ.

ඩලස්‌ අලහප්පෙරුම මහතා-

අපිත් මේ ප්‍රශ්නය ඊයේ ඉදිරිපත් කළා. ඒක හාස්‍යයට ලක්‌ කළා. අනුර දිසානායක මහතාගේ ප්‍රකාශය අපි සම්පූර්ණයෙන් පිළිගන්නවා. වලංගු නැති ඇමැතිවරු 24 ක්‌ දැන් ඉන්නවා. ඔවුන් කවුරුන්ද කියා අපි දන්නේ නෑ. රටේම සමස්‌ත දේශපාලන ස්‌ථාවරත්වය අර්බුදයට ලක්‌වෙලා. අපි බොරදියේ මාළු බානවා නොවේ. හවුල් ආණ්‌ඩු ගිවිසුම කල් ඉකුත්වෙලා. මේක කථානායකතුමාගේ කීර්තියටත් හානියක්‌.

සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා-

ජාතික ආණ්‌ඩුවේ පාර්ශ්වකරුවන් ඉන් ඉවත්වී නෑ. ජාතික ආණ්‌ඩුව එකට ඉන්නවා.

අනුර දිසානායක මහතා-

මෙතුමා පිළිතුරු දෙන්නේ අද මේ මොහොතේ යන සාකච්ඡාව එකට හිටියත් වෙන්ව හිටියත් ඒ ගැන පාර්ලිමේන්තුවට දැනුම් දී නෑ.

එදා ජාතික ආණ්‌ඩුව සඳහා අවුරුදු දෙකකට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත්තා. දැන් එවැනි අනුමැතියක්‌ ලබාගෙන නෑ. දැන් කාලය ඉක්‌මවා ගිහින්. ඒ නිසා දැන් පාර්ලිමේන්තුවට ඇමැතිවරු ගෙන එන පනත් අපට පිළිගත හැකිද? එනිසා වහාම පිළිතුරු ලබාදිය යුතුයි.

වාසුදේව නානායක්‌කාර මහතා-

ඔවුනොවුන් ඉවත්ව නෑ කියන එක නෙගටිව් ප්‍රශ්නයක්‌. ජාතික ආණ්‌ඩුවකට අනුමැතිය දුන් කාලය අවසන්. ස්‌වයංක්‍රීයව ඒ කාලය දීර්ඝ වන බවට අර්ථ දක්‌වන්න බෑ. එදා දුන් බලය තවදුරටත් වලංගුද, නැතිනම් පැහැරගත් බලයක්‌ද මේ ක්‍රියාත්මක වන්නේ.

කථානායක කරු ජයසූරිය මහතා-

මම ඒක සොයා බලන්නම්.

ඩලස්‌ අලහප්පෙරුම මහතා-

විශ්වා වර්ණපාල සන්ධානයේ හිටපු මහ ලේකම්. එදා ඔබතුමාව දැනුවත් කළා වසර දෙකකට ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවනවා කියා. දැන් ඒ කාලය අවසන්. මේ ජාතික ආණ්‌ඩුව දීර්ඝ කරන බව ඔබතුමාට දැනුම්දී තිබේද?

කථානායක-

නෑ... මට දැනුම්දී නෑ.

දිනේෂ් ගුණවර්ධන මහතා-

කථානායකතුමා තීරණය කළ යුතුයි. සභාවේ අනුමැතිය ගත යුතුයි. නැතිනම් ඇමැති ධුර සංඛ්‍යාව තිහට බහිනවා. නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැති ධුර සංඛ්‍යාව හතළිහට බහිනවා.

කථානායක-

හෙට වෙද්දී මම කියන්නම්.

අජිත් අලහකෝන් / කුෂාන් සුබසිංහ

« PREV
NEXT »