BREAKING NEWS
latest

728x90

468x60

Thursday, February 08, 2018

කවිකාර තාත්තාගේ කඳුළු විකුණන ජනක පුතාගේ ඉඩම් කතාව

හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහි ද්විත්ව මිනීමැරුම් නඩුව මේ මාසයේදී මහනුවර මහාධිකරණයේ විභාගයට ගැනීමට නියමිතව ඇත. මේ කතාව ඒ නඩුව ගැන නොවේ. ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ යටගිය තවත් එක් වීර ක්‍රියාවක් ගැනය.

ජනක බණ්ඩාර තෙන්නකෝන් තම පියා ගැන කඳුළු හෙළමින් තම ජීවිත කතාව ආලවට්ටම් දමා කීමට බොහෝ ප්‍රිය කරන තැනැත්තෙකි. තම පියා මහනුවර බස් නැවතුමේ කවි කොළ කියවූ ආකාරය කඳුළු පෙරමින් කීමට ජනක කැමතිය. ජනකගේ පියා සැබැවින්ම නිහතමානී සරල දේශපාලනඥයකු වූ බව ඇත්තය. එහෙත් ජනක නම් පුතා එකී නිහතමානී සරල දේශපාලනඥයාට තම චරිතයෙන් ඉටු කර ඇත්තේ කවර නම් සාධාරණයක්ද ?

ජනක බණ්ඩාර තෙන්නකෝන් දඹුල්ලට පිවිසෙන්නේ 1980 ගණන් වල අග භාගයේදීය. ඒ මහනුවර දෙයියන්නේවෙල ප්‍රදේශයේ සිටය. දෙයියන්නේවෙල ප්‍රදේශයට වැදී ඇත්තේ කවරාකාරයක හංවඩුවක්දැයි මහනුවර පළාත දන්නෝ දන්නවා ඇත. ජනකගේ ත්‍රාසජනක කොටස් ඔහුට දෙයියන්නේවෙලින් උරුම වූ ඒවායැයි අප නොකීවාට කියනා අයත් ඇත. කෙසේවෙතත් දෙයියන්නේවෙලින් දඹුල්ලට යන ගමනේදී ජනකට අද තිබෙන සැප සම්පත් තිබුණේ නැත. කොටින් ම අතේ සතේ නොතිබුණු ජනකට එදා දඹුල්ලේ ඉන්න හිටින්න තැනක් තිබුණේ ද මැත.

කෙසේවෙතත් ජනක ගැන අනුකම්පා සිතූ උපාලි පෙරේරා නමැත්තෙක් එදා ජනකට නිවසක් කුලියට දීමට ඉදිරිපත් විය. කුලියට කීවාට ඔහු කුලියක් ගත්තේ ද නැත. ඔහු ජනකට අවංකව ම උදව් කළේය. 1994 දී මහමැතිවරණයට දඹුල්ලෙන් තරග කර ජයග්‍රහණය කළ ජනක බණ්ඩාර තෙන්නකෝන්ට නියෝජ්‍ය ඇමතිධුරයක් ද හිමිවිය. ඉන්පසුව ඔහු එතෙක් තමන්ට උදව් කළ උපාලි පෙරේරාට කෘතගුණ සැලකීමට ඉදිරිපත් විය. ඒ අනුව ජනක උපාලි පෙරේරාගේ බිරිඳ වන මානෙල් ජයන්තිට මත්පැන් හල් බලපත්‍රයක් ලබා දුන්නේය.

උපාලි පෙරේරා ද සුදු චරිතයක් නොවේ. ඔහුත් ගේම් කාරයෙකි. මුදල් පොළියටදීම ආදී ඔහුගේ ව්‍යාපාරික කටයුතුවලට ද ජනකගේ දේශපාලන බලය ලොකු ශක්තියක් විය. එසේම උපාලි පෙරේරා දැඩි සුරා ලෝලියෙක් විය. ඔහුගේ සුරා ලෝලීත්වය නිසාම අවසානයේ ඔහු මිය ගියේය.

දඹුල්ල යාපාගම ප්‍රදෙශයේ උපාලිට අයත් අක්කර දෙකක ඉඩමක් තිබිණි. උපාලිගේ මරණයෙන් පසුව ජනක බණ්ඩාර උපාලිගේ බිරිඳට කතා කර තර්ජනය කළේ මෙම ඉඩම තමාට ලියා දෙන ලෙසය. ඇය ඊට එරෙහිවන විට ජනක ප්‍රකාශ කළේ ඇයගේ මත්පැන් හල් බලපත්‍රය අහෝසි කරන බවය. එහෙත් ඇය ජනකගේ තර්ජනයට යටවුණේ නැත. ජනක සිය තර්ජනය හකුළාගත් බවක් පෙන්වුවද සිදුව තිබුණේ වෙනත් දෙයකි.

මේ වන විට ජනක බණ්ඩාර තෙන්නකෝන් විශාල ධනවතෙකු වී අවසන්ය. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළඳසැල් වලින් කප්පම් වශයෙන් පමණක් ඔහු උපයන මුදල කෝටි ගණනකි. එහෙත් ඒ කිසිවකින් පෙර කී ඉඩමට තිබුණු තන්හාව මඟහැරුණේ නැත.

උපාලි පෙරේරාගේ පුතා සනත් මංජුය. ඔහු විසින් සොයා බලන විට ඔහුට දැනගන්නට ලැබී ඇත්තේ ජනක බණ්ඩාර විසින් පෙරකී ඉඩම ව්‍යාජ ඔප්පු සකස් කරගෙන ලියාගෙන ඇති බවය. දඹුල්ල ප්‍රදේශයේ සරත් මද්දුම බණ්ඩාර නම් නීතීඥවරයකු මාර්ගයෙන් ඔහු ව්‍යාජ ඔප්පු සකස් කරගෙන ඇත. ඒ නීතීඥවරයා ද මේ වන විට මියගොස් ඇත. ව්‍යාජ ඔප්පු සකස් කරගෙන ලියාගත් ඉඩමේ අද වන විට වටිනාකම රුපියල් ලක්ෂ 700ක් පමණ වේ.

සනත් මංජු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් අනුව දැන් මෙම ඉඩම් අත්පත් කරගැනීම ගැන විමර්ශනයක් ක්‍රියාත්මක වේ. විමර්ශන නිලධාරීන් විසින් මේ වන විට අදාළ පාර්ශ්ව වලින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර නුදුරේදීම ජනක බණ්ඩාර තෙන්නකෝන්ව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට නියමිතය.

ජනක යැයි කියූ විට ශෝකජනක, හාස්‍යජනක, ත්‍රාසජනක යනාදී වශයෙන් විවිධ වචන මතකයට නැඟේ. මේ ජනකගේ නම මුලට යෙදිය යුතු කවර පදයදැයි තෝරා ගැනීම මෙය කියවූ පාඨක ඔබට ම භාර ය. ජනකගේ කෙරුවාව නම් ජුගුප්සාජනක ය.

මේ මොහොතේ අප මෙවැනි හෙළිදරව් කිරීම් කරන විට ඇතැමුන් කියන්නේ අප මැතිවරණය බලාගෙන මේවා කියන බවය. මැතිවරණය අදාළ වන්නේ මැතිවරණ දේශපාලනයෙහි නියැළෙන දේශපාලනඥයින්ටය. අපේ මාධ්‍යකරණයට මැතිවරණය අදාළ වන්නේ නැත. මැතිවරණයක් පැවතුණ ද නැත ද අපි දූෂිතයින් පිළිබඳ තොරතුරු රටට අනාවරණය කළෙමු. පසුගිය වසර ගණනක් පුරාවට අප එසේ තොරතුරු අනාවරණය කළ අතර ඉදිරියටත් එසේ කරන්නෙමු.

LNW
« PREV
NEXT »