BREAKING NEWS
latest

728x90

468x60

Friday, March 16, 2018

නොතීසිවලට අවනත නොවූ මහේන්ද්‍රන්ට වරෙන්තු - ඇලෝසියස්‌ සහ පලිසේන 29 තෙක්‌ යළි රිමාන්ඩ්

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන ලක්‍ෂ්මන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (15 දා) වරෙන්තු නිකුත් කළාය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව එක්‌ව කළ ඉල්ලීමක්‌ සළකා බැලූ මහෙස්‌ත්‍රාත්වරිය එම නඩුවේ පළමුවන සැකකරු ලෙස නම්කොට ඇති අර්ජුන ඇලෝසියස්‌ මහතා අධිකරණය විසින් නිකුත් කළ නොතීසි නියෝගවලට අවනත නොවී අධිකරණය මඟහැර සිටින බවට නිගමනය කරමින් එම නියෝගය කළාය. 

පසුගිය 08 වැනිදා හෝ ඊට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස නිකුත් කළ නොතීසි හා දැනුම්දීම් සම්බන්ධයෙන් අවබෝධයක්‌ ඇතිව හා තමාට එරෙහිව අපරාධ නඩුවක්‌ ගොනු කිරීමේ හැකියාව පවතින බව දැනුවත්වම සැකකරු එලෙස අධිකරණය මඟහැර සිටින බව තම අධිකරණයට පෙනී යන බවද මහෙස්‌ත්‍රාත්වරිය එහිදී පෙන්වා දුන්නාය. 

නියෝජ්‍ය සොලිසිටර්Êජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මියගේ මෙහෙයවීමෙන් සාක්‍ෂි ලබාදුන්, ඒ පිළිබඳව විමර්ශන සිදු කරන විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපතිනි පොලිස්‌ පරීක්‍ෂිකා සංජීවනී කැප්පිටියේ මහත්මිය අධිකරණයට පෙන්වා දුන්නේ සැකකාර හිටපු මහ බැංකු අධිපතිවරයා මහ බැංකු රහස්‍ය දත්ත දෙවැනි සැකකාර අර්ජුන් ඇලෝසියස්‌ට ලබාදීම නිසා රජයට රුපියල් බිලියන 688 ක අලාභයක්‌ සිදුවී ඇති බව මේ දක්‌වා සිදුකළ පරීක්‍ෂණ අනුව අනාවරණය වී ඇති බවයි. 

එම නඩුවේ දෙවැනි සැකකාර අර්ජුන් ඇලෝසියස්‌ හා පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන දෙදෙනා ලබන 29 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමටද මහෙස්‌ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය. 

ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර වෙන්දේසි පැවති සමයේ දී හා ඊට පසුව පර්පෙචුවල්a ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන, අර්ජුන් ඇලෝසියස්‌ සහ එම සමාගම සමඟ දුරකථන ඔස්‌සේ සබඳතා පැවැත්වූ පිරිසකගේ සවිස්‌තර දුරකථන වාර්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසටද මහෙස්‌ත්‍රාත්වරිය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට හා දුරකථන සමාගම් පහකට නියෝගයක්‌ නිකුත් කළාය. 

එම නඩුව ඊයේ කැඳවූ අවස්‌ථාවේදී නාමලේඛනයක්‌ අධිකරණයට ඉදිරිපත් කළ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා එකී නාමලේඛනයේ සඳහන් පිරිස දෙවැනි හා සිව්වැනි සැකකරුවන් සමඟ සෘජුව සබඳතා පැවැත්වූ බවට ජනාධිපති බැඳුම්කර කොමිෂන් සභාව හමුවේදී අනාවරණය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට එම දුරකථන වාර්තා අවශ්‍ය බව පෙන්වා දුන්නේය. අර්ජුන් ඇලෝසියස්‌ හා කසුන් පලිසේන යන දෙදෙනා මහ බැංකු බැඳුම්කර වංචාවෙන් උපයාගත් මුදල් යොදවා දේපළ මිලදී ගෙන ඇති බව අනාවරණය වන බවද, ඔවුන් සතු සියලු වත්කම්වල සවිස්‌තර වාර්තාවක්‌ ලබාදෙන ලෙසටද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එලෙස බැඳුම්කර වංචාවෙන් උපයාගත් මුදල් යොදවා මිලදී ගත් දේපළ ඇත්නම් ඒවා තහනමට ලක්‌කර රාජසන්තක කිරීමේ අරමුණින් තමන් එම ඉල්ලීම කරනා නමුත්, ඔවුන් වෙනත් උපයා ගැනීම්වලින් මිලදී ගත් අන් කිසිදු දේපළක්‌ සම්බන්ධයෙන් අහිතකර නියෝගයක්‌ ඉල්ලා සිටීමට තමන් පියවර නොගන්නා බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී පැවසීය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කළ එම ඉල්ලීමට දැඩි විරුද්ධත්වය දක්‌වමින් කරුණු දැක්‌වූ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා සිය සේවාදායකයන් රජයේ සේවකයන් නොවන නිසා එවැනි නියෝගයක්‌ ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට නීත්‍යනුකූල බැඳීමක්‌ නොමැති බව පැවසීය. 

පර්පෙචුවල් සමාගමට අයත් සියලුම වත්කම් හා බැරකම් පිළිබඳ සවිස්‌තර වාර්තාවක්‌ ලබාදීමට නියෝගයක්‌ නිකුත් කරනා ලෙසද, එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේය. තවද ඉල්ලීම් දෙක පිළිබඳව නීතිමය තත්ත්වයන් සලකා බලා ඉදිරි දිනයේදී සුදුසු නියෝගයක්‌ නිකුත් කරනා බව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පෙන්වා දුන්නාය.

රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්‌මිණි ගිරිහාගම මෙනවිය, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය සමඟ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ පී. අම්පාවිල, පොලිස්‌ පරීක්‍ෂක විමල් ජයවීර සමඟ පොලිස්‌ පරීක්‍ෂිකා ධර්මලතා කැප්පිටියේ මහත්මිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටියාය.

අර්ජුන මහේන්ද්‍රන් මහතා පසුගිය 26 වැනිදා සිංගප්පූරුවේ සිට අර්ජුන් ඇලෝසියස්‌ මහතාගේ ලේකම්වරිය වන සුරනි මැණික්‌ නියංගොඩ නමැත්තියට දුරකථන ඇමතුමක්‌ ලබාදී සුවදුක්‌ විමසා ඇති බව ඇයගෙන් ලබාගත් ප්‍රකාශයක්‌ අනුව පැහැදිලි වන බවද පොලිස්‌ පරීක්‍ෂකවරිය එහිදී සාක්‍ෂි දෙමින් අධිකරණයට පෙන්වා දුන්නාය. 

ඒ. ඡේ. ඒ. අබේනායක
« PREV
NEXT »