BREAKING NEWS
latest

728x90

468x60

Thursday, May 10, 2018

ඉරණතිව් පවුල් 297කට වෙනත් නිවාස දීලා - Gayantha Karunathilaka

එල් ටි ටි ඊ ත්‍රස්තවාදි අරගල හේතුවෙන් අනූව දශකයේදී සිය ගම්බිම් අහිමි වූ ඉරණතිව් දූපතේ අවතැන්වූ පවුල් 297ක් සඳහා ඉඩම් හා නිවාස , මූලික පහසුකම් සැපයීම මේ වනවිට රජය විසින් සිදුකර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කෙළේය.

ත්‍රස්තවාදි කලබල හේතුවෙන් එවකට පවුල් 190ක් අවතැන් වුවත් එය මේ වනවිට පවුල් 392 දක්වා වර්ධනය වී ඇති බවත් ඇමැතිවරයා සඳහන් කෙළේය.

එම පවුල් වලින් පවුල් 297ක් සඳහා ඉරණයිමාන, නාච්චිකුඉඩා, හා කොන්ඩාවේලි යන ප්‍රදේශවල නිවාස ලබාදි ඇති බවත් ඇමැතිවරයා පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදි මේ බව සඳහන් කළේය.

එමෙන්ම අවතැන් වූ පවුල් සඳහා නිවාස ලබාදිමට අමතරව ඔවුන්ගේ ජිවනෝපාය වූ ධිවර කර්මාන්තය නිදහසේ කරගෙන යාමට රජය මඟින් අවස්ථාව ලබාදී ඇති බවත් දූපත තුළ තාවකාලික ස්ථාන ඉදිකරගනිමින් පුද්ගලයින් 400ක් පමණ සිය කර්මාන්තය නිදහසේ කරගෙන යන බවත් ඇමතිවරයා සඳහන් කෙළේය.

ඉරණතිව් දූපතේ ආරක්ෂාව සළසන නාවික හමුදාව ජනතාවගේ ඉඩ කඩම් කිසිවක් අත්පත් කරගෙන නොමැති බවත් දූපත මුල් පදිංචි කරුවන්ට නීත්‍යානුකූල පාරම්පරික ගම්බිම් ලබාදිම සම්බන්ධයෙන් ලබන 15වැනිදා විශේෂ අධ්‍යයනයක් සිදුකරන බවත් ඇමතිවරයා සඳහන් කෙළේය.

බන්ධනාගාර හා පුනරුත්ථාපන නැවත පදිංචි කිරිමේ අමාත්‍යාංශය මඟින් ‍මෙම විශේෂ අධ්‍යයනය සිදුකරන බවත් ඇමතිවරයා අනාවරණය කෙළේය.
« PREV
NEXT »