BREAKING NEWS
latest

728x90

468x60

Thursday, May 10, 2018

පරිසර හිතකාමී ආරක්ෂාකාරී විද්‍යුත් ත්‍රී රෝද රථ කර්මාන්ත ශාලාවක්.

"අපේ රටේ වසරකට බිලියන ගණනක් වටිනා වාහන ආනයනය කරනවා. ඒ වාහන වලින් අපේ මාර්ග පිරීයාම නිසා වාහන තදබදය වගේම එහි දුම නිසා අපගේ පරිසරය වායු දූෂණයට ලක් වෙනවා. එම තත්ත්වය තුළ පරිසරය ආරක්ෂා කරන, මගී ජනතාවට ආරක්ෂාව සපයන කාර්යක්ෂම විද්‍යුත් වාහනවල අවශ්‍යතාවක් අපට තියෙනවා. එම නිසා පොදු මගී ජනතාවගේ ප්‍රවාහනය සඳහා පරිසර හිතකාමී, ආරක්ෂිත, කාර්යක්ෂම මෙන්ම ආර්ථික වශයෙන් වාසිදායක විද්‍යුත් ත්‍රීරෝද රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් අපට ලැබෙනවා නම් එය අපේ රටට ඉතාම හොඳයි. එම නිසා ජපන් ආයෝජක කණ්ඩායම ඒ සඳහා සැලසුම් කර තිබීම ගැන මම ඔවුන්ට ස්තූති වන්ත වෙනවා." යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අමාත්‍යාංශයේදී ජපානයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික සමාගමක් වන ෆියුචර් සයන්ස් රිසර්ච් ඉන්කෝපරේෂන් සමාගමේ (Future Science Research Incorporation) සභාපති අකිහිකෝ මට්ෂුමුරා (Akkihico Matsumura) මහතා ඇතුළු දූත පිරිස හමු වී කරන ලද සාකච්ඡාවේදීය. මෙම සාකච්ඡාව සම්බන්ධීකරණය කරනු ලැබුවේ ජපාන අසියානු හෝල්ඩින්ස් සමාගමේ සභාපති සුනිල් එම්. ගමගේ මහතාය.

ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදන කර්මාන්තයේ නව පරිච්‍ඡේදයක් ආරම්භ කරමින් ජපානයේ ටෝකියෝ නගරය පදනම් කර ගනිමින්, අධි තාක්ෂණික මට්ටමේ විද්‍යුත් වාහන නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමටත්, ජාත්‍යන්තර මට්ටමේ විද්‍යුත් වාහන ආරෝපණ (Charging) මධ්‍යස්ථාන " මයික්‍රෝ ග්‍රිඩ් " (Micro Grid ) නමින් ලංකාව පුරා ආරම්භ කිරීමටත්, මෙම ජපන් ආයෝජකයා අපේක්ෂා කරයි. මේ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම විද්‍යුත් ත්‍රී රෝද රථ " EV tuk - tuks " නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීම සඳහා ද ඔවුන් බලාපොරොත්තු වේ. ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම, නිරීක්ෂණය කිරීම හා තව දුරටත් අදාල වගකිව යුතු අංශ සමඟ සාකච්ඡා කිරීම ඔවුන්ගේ සංචාරයේදී සිදු විය.

මෙහිදී අදහස් දක්වමින් කතා කළ ජපානයේ ෆියුචර් සයන්ස් රිසර්ච් ඉන්කෝපරේෂන් සමාගමේ සභාපති අකිහිකෝ මට්ෂුමුරා මහතා මෙසේ පැවසීය.

"ශ්‍රී ලංකාව සුන්දර රටක්, එහි පරිසරය ආරක්ෂා කර ගත යුතු වෙනවා. එය ආරක්ෂා කර ගැනීමට නම්, වායු දූෂණය ඇතුළු පරිසර දූෂණයන් දුරු කළ යුතුයි. එම නිසා අප ශ්‍රී ලංකාවේ පරිසරයට හිතකර ආර්ථික වශයෙන් වාසිදායක මගී ආරක්ෂාව සහතික කරන, විද්‍යුත් ත්‍රීරෝද රථ නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකාව තුළ පවතින ඉඩකඩ සොයා බැලීමටත්, ඒ සඳහා ලැබෙන සහයෝගය අනුව කටයුතු කිරීමටත් අපේක්ෂා කරනවා. ඒ වගේම අප ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමෙන් අපේ පරිසර හිතකාමී නිෂාපාදන ශ්‍රී ලංකා වෙළෙඳපොළට යොමු කර අතිරික්තය අපනයනය කිරීමට බලාපොරොත්තු වෙනවා. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජපාන සංචාරයෙන් පසුව මෙහි ආවේ ශ්‍රී ලංකාවේ ආයෝජනයට වඩාත් හිතකර පරිසරයක් පවතින නිසායි. අප ආරම්භ කිරීමට අපේක්ෂා කරන අධිතාක්ෂණික විද්‍යුත් ත්‍රීරෝද රථය ආසන 04 කින් යුක්ත වෙනවා. එය පරිසර හිතකාමී ලෙසත් ආර්ථික වශයෙන් ලාභදායී ලෙසත් නිපදවා තිබෙනවා." යැයි පැවසීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

"ඔබගේ අධිතාක්ෂණික විද්‍යුත් ත්‍රීරෝද රථ නිෂ්පාදන ව්‍යාපෘතියට මගේ අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබා දෙනවා. මෙම ව්‍යාපෘතිය ලංකාවට ලබා දීමට පියවර ගැනීම ගැන අප ඉතාමත් සතුටු වෙනවා. මෙය ශ්‍රී ලංකාවේ මෝටර රථ නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ ඉදිරි පියවරක් වෙනවා. මේ වන විටත් ජපානයේ සෘජු ආයෝජන ව්‍යාපෘති 85 ක පමණ, ශ්‍රී ලාංකිකයින් 10,000 ක් පමණ සේවය කරනු ලබනවා. අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ ආකාරයේ පරිසර හිතකාමී තාක්ෂණය සඳහාත්, එමඟින් තිරසාර සංවර්ධනයක් කාර්මික ක්‍ෂේත්‍රයේ ඇති කිරීම සඳහාත් සහයෝගය ලබා දෙනවා. වර්ෂ 2007 සිට 2017 දක්වා දස අවුරුදු කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවට ජපාන සෘජු ආයෝජන ඇමරිකානු ඩොලර් මිලියන 273 ක ප්‍රමාණයක් ලැබී තියෙනවා." යැයි පැවසීය.


මෙම සාකච්ඡාවට ජපාන ආසියානු හෝල්ඩින්ස් සමාගමේ සභාපති සුනිල් එම්. ගමගේ, රජයේ වාණිජ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සංජීව පට්ටිවිල යන මහත්වරුන්ද සහභාගී විය.
« PREV
NEXT »