BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, June 20, 2018

ඇත්තටම පවුලේ අවුලක් ද? පොහොට්ටුවේ බල සටන උග්‍ර අතට ?

මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා පිළිබඳ මතුව ඇති ගැටුම හමුවේ හිටපු ජනාධිපති මහින් ද රාජපක්ෂගේ පාර්ශ්වය තුළ දෙදරා යාමක් ඇතිව තිබේ.

රාජපක්ෂ සොයුරන් තිදෙනෙක් සටනේ

පැවැති රාජපක්ෂ පාලනයෙහි වැදගත් තනතුරු හෙබවූ චමල්, බැසිල් සහ ගෝඨාභය යන රාජපක්ෂ සහෝදරයින් තිදෙනාම ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ බලාපොරොත්තු තබා සිටීමෙන් මෙම තත්ත්වය උදා වී ඇත​. මේ අතර, පසුගියදා පැවැති නියෝජ්‍ය කතානායකවරයා තේරීමේ ඡන්දයේ දී, ඡන්දය වර්ජනය කළ යුතු යයි බැසිල් රාජපක්ෂ විසින් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන් වෙත නිර්දේශ කිරීම පිළිබඳ මහින්ද රාජපක්ෂ දැඩි සේ කෝපයට පත්ව ඇතැයි වාර්තා වේ. මෙම ඡන්දයේ දී ඒකාබද්ධ විපක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායමේ අපේක්ෂිකාව වූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය දරුණු පරාජයකට පත් වූවා ය​. ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන් දොලහකට වැඩි පිරිසක් පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත් ව ගිය අතර එම අවස්ථාවේම ඔව්හු පාර්ලිමේන්තු ආපනශාලාවේ දී අනෙක් මන්ත්‍රීන් හා සතුටු සාමීචියේ යෙදෙමින් සිටියහ​. මෙසේ ඡන්දය වර්ජනය කරන ලද්දේ බැසිල් රාජපක්ෂගේ උපදෙස් මත බව වාරතා වේ.

ඉන් අනතුරුව, මහින්ද රාජපක්ෂ, සිය බාල සහෝදරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ තමාගේ දේශපාලන තීරණවලට විරුද්ධව කටයුතු සිදු වන්නේ නම් තමා වෙනමම පක්ෂයක් නිර්මාණය කරන බවට තර්ජනය කළ බවත් තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.

තවද මෑත දී රජයෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායමට පහර වදින ආකාරයේ ප්‍රකාශයන් බැසිල් රාජපක්ෂ විසින් සිදු කර තිබීම පිළිබඳ ද හිටපු ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පළ කොට ඇත​. සිය 'සැලුන් දොර' ඕනෑම අයකු වෙනුවෙන් විවෘතව තිබිය යුතු බව හිටපු ජනාධිපතිවරයාගේ විශ්වාසය වන බවත්, බැසිල් රාජපක්ෂ එයට වඩා සුපරික්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරන බවත් ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

16 කණ්ඩායමට අවවාද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා ඒකාබද්ධ විපක්ෂයට එක් වීමට අවශ්‍ය පිරිස් එක පයක් එක පැත්තකත්, අනෙක් පය අනෙක් පැත්තෙත් තබාගෙන ක්‍රියා නොකළ යුතු බව බැසිල් රාජපක්ෂ මෑතක දී ප්‍රකාශ කළේ ය​. පසුගියදා රජයෙන් ඉවත් වූ මන්ත්‍රීන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වන තෙක් ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත නොපිළිගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය​. ඔවුන් එයින් ඉවත්ව පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත යුතු යයි බැසිල් රාජපක්ෂ අවධාරණය කළේ ය​.

මෙම ප්‍රකාශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායමේ උදහසට හේතු වූ අතර ඔව්හු ද​ බැසිල් රාජපක්ෂව​ ප්‍රසිද්ධියේ විවේචනය කළ හ​.

මාධ්‍ය ආයතන හිමිකරුට බැසිල්ගෙන් දොස්​; මහින්ද විශ්මයට

මේ අතර මෑතක දී පවත්වන ලද උත්සවයක දී, ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජනමාධ්‍ය සහ වෙළෙඳ ප්‍රචාරණ ආයතන සමූහයක ප්‍රධානියකු, බැසිල් රාජපක්ෂගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. ඔහුගේ රූපවාහිනී නාලිකාව යොදාගනිමින් තමාට දිගින් දිගටම පහර දෙන්නේ නම් අයහපත් ප්‍රතිඵල අත් විඳීමට සිදු වනු ඇතැයි හිටපු ආර්ථික කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ එහි දී ප්‍රකාශ කර ඇත​. හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් ඉදිරියේ සිදු වූ මෙම බැණවැදීම එය දුටු බොහෝ දෙනා පුදුමයෙන් ගල් ගැස්සවීමට සමත් වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතු බවට මතුවන හඬ ඉහළ යන නමුත් මහින්ද රාජපක්ෂ ඒ පිළිබඳ එතරම් පැහැදීමකින් පසු නොවන බව සඳහන් ය​. හිටපු ඇමරිකානු තානාපති අතුල් කේශප් සහ හිටපු ජනාධිපතිවරයා අතර මෑතක දී සිදු වූ හමුවේ දී මතුව ඇති කරුණු කාරණාවලට ද එක් හේතුවක් වන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ආකල්පය බව කියවේ. මෙම හමුව පිළිබඳ තොරතුරු මුලින්ම වාර්තා කළ කාලයික්කතීර් දමිළ පුවත්පතට එය ලැබී ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට සමීප මූලාශ්‍රයකින් බව වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ වගන්තිවලට​ සංශෝධනයක් සිදු නොවුණහොත් හිටපු ජනාධිපතිවරයාට 2019 ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට අවස්ථාවක් නොලැබෙන පසුබිමක, ඔහුගේ සහය කිනම් සහෝදරයා වෙත ලැබේදැයි පැහැදිලි නැත​. සිය කැමැත්ත හිමි වන්නේ මහින්ද රාජපක්ෂගේ ද වැඩිමහළු සහෝදරයා මෙන්ම හිටපු කතානායකවරයකු සහ වරාය ඇමැතිවරයකු වූ චමල් රාජපක්ෂ වෙත​ බව ඒකාබද්ධ විපක්ෂය තුළ සිටින 'පැරණි වම' මේ වනවිට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල සාමාජිකයකු මෙන්ම හිටපු ජනාධිපතිවරයාට සමීප අයකු ලෙස සැලකෙන වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මෑතක දී සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය විසින් නිර්මාණය කිරීමට බලාපොරොත්ත් වන ආකාරයේ 'මධ්‍ය වාමාංශික​' රජයක් මනාව ප්‍රතිමූර්තිමත් කළ හැකි තැනැත්තා චමල් රාජපක්ෂ බැවින් තම මනාපය ඔහු වෙත හිමි වන බව ය​. මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ වඩා යුධකාමී කඳවුර නියෝජනය කරන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල වැන්නවුන් සෘජුවම සිය කැමැත්ත ගෝඨාභය රාජපක්ෂ වෙත පළ කොට තිබේ.

මහින්දගේ මනාපය කාටද?

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග කියා සිටින්නේ මේ පිළිබඳ අවසන් තීරණය ගනු ඇත්තේ අන් කවරකුත් නොව මහින් ද රාජපක්ෂ විසින්ම බවයි. නම සඳහන් කිරීමට අකමැති වූ එක් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරයකු සඳහන් කළේ මෙම තීරණය ගැනීමේ දී ඔහු සිය පවුලෙහි අභිවෘද්ධිය සහ අනාගත බල අපේක්ෂාවන් පිළිබඳ නිසැකවම සළකා බලනු ඇති බව ය.

තුන් වසරකට පෙර​, එවකට පැවැති රාජපක්ෂ පාලනය බිඳ වැටීමට පවුල් වාදය ප්‍රධාන හේතුවක් වී තිබියදීත්, මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයින් ලෙස ඒකාබද්ධ විපක්ෂය තුලින් මතුව ඇති තිදෙනාම රාජපක්ෂ සොයුරන් වීම එක්තරා ආකාරයකින් පුදුමයට කරුණකි. මේ අතර 'අතීතය ද රාජපක්ෂවරුන්ගේ විය​. අනාගතයත් සෙස්සන්ට ඉඩ නොදී ඔවුන්ගේ පවුලටම නතු කරගැනීමට උත්සාහ කරන බවක් පෙනේ' යනුවෙන් එක් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරයකු සඳහන් කළේ තරමක් නොරිස්සුම් සහගතව ය​. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සහ ඒකාබද්ධ විපක්ෂයෙහි ප්‍රධානියා ලෙස හිටපු ජනාධිපතිවරයා සිටින තාක් කල් වෙනත් රාජපක්ෂවරයකුට අවස්ථාවක් නොලැබෙනු ඇති බව එම මන්ත්‍රීවරයා කියා සිටියේ ය​.

(DM)
« PREV
NEXT »