දේශපාලන විරුද්ධවාදීන් කුමන අන්දමේ චෝදනා එල්ල කළ ද මෙම වකවානුව මෙරට ගොවි ආර්ථිකයේ සහ කෘෂි ආර්ථිකයේ වාසනාවන්ත කාල පරිච්ඡේදයක් බව ජනාධිපතිවරයා පවසයි.
ගොවි ජනතාව දීර්ඝ කාලයක් පුරා පීඩාවට පත්කළ ජල හිඟයට විසඳුම් ලබාදීමට සේම ඔවුන්ගේ ගැටලු රැසක් විසඳීමට ඉකුත් වසර තුන හමාර තුළ රජය ක්‍රමවත් සහ සැළසුම්සහගත වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කළ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ වැලිකන්ද නව ගොවි ජන සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ(9) පස්වරුවේ එක්වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කෙළේ අද මේ රටේ ගොවි ජනතාව මුහුණදෙන අසීරුතාවන් සහ දුක්ගැහැට ඔවුන්ගේ මතු පරපුරට උරුමවීමට ඉඩ නොතබා ගොවි ආර්ථිකය සහ ගොවි ජන ජීවිතය සමෘද්ධිමත් කිරීමට වත්මන් රජය කැපවී සිටින බවයි.
එමෙන්ම වැලිකන්ද ප්‍රදේශයේ සංවර්ධන කටයුතු පිළිබඳ ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැලිකන්ද ජනතාව දීර්ඝ කාලයක් මුහුණදී සිටින පානීය ජල ගැටලුව විසඳීමට ආරම්භ කළ වැලිකන්ද පානීය ජල ව්‍යාපෘතියේ කටයුතු ලබන වසර මුලදී ස්ථිර වශයෙන්ම අවසන් කිරීමට හැකිවනු ඇති බව සඳහන් කළේය.
ඇතැමුන් සංවර්ධන වැඩපිළිවෙළේදී කෙටි කාලීන විසඳුම් අපේක්ෂා කළ ද අද සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ විධිමත් සැලැස්මක් සහ අනාගත දැක්මක් ඇතිව බව පැවසූ ජනාධිපතිවරයා ඇතැම් මාධ්‍ය පෙන්වා දෙන අන්දමේ අස්ථාවරත්වයක් රට තුළ නොමැති බවත්, රජයක් ලෙස වත්මන් රජය අද විශාල වැඩකොටසක් ඉටුකරමින් සිටින අතර, ඉදිරි අභියෝගවලට ද සාර්ථකව මුහුණදෙමින් රටත්, ජනතාවත් සඳහා වූ වගකීම් නිසි ලෙසම ඉටුකරන බව අවධාරණය කෙළේය.
පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ සියලු පහසුකම්වලින් සමන්විතව ඉදිකර ඇති මෙම ගොවිජන සේවා මධ්‍යස්ථානය සඳහා වැය කර ඇති මුදල රුපියල් එක් කෝටි තිස් එක් ලක්ෂයකි.
සමරු ඵලකය නිරාවරණය කර ගොවි ජන සේවා මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිවරයා එම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
ගොවි ජන සේවා මධ්‍යස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
කෘෂිකර්ම ගොවි ජන රක්ෂණ මණ්ඩලය මගින් ප්‍රදානය කරනු ලබන වගා හානි සඳහා වන්දි ලබාදීමට අදාළ චෙක්පත් සහ ගොවිජන බැංකු මගින් ලබාදෙන ව්‍යාපෘති ණයවලට අදාළ චෙක්පත් ප්‍රදානය කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි. කෘෂිකර්ම උපකරණ කට්ටල ප්‍රදානය කිරීම ද සිදු විය.
අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් යන මහත්වරුන් සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයන් ද, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී. විජේරත්න, ගොවි ජන සේවා කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.බී. වීරසේකර, පොළොන්නරුව දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් බී.එම්.සී.එච්. කුමාරිහාමි යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.