BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, July 11, 2018

ඇමැති කෙනෙකු හැටියට නි. ඇමැති පාලිත තෙවරප්පෙරුමට ලැජ්ජ හිතෙයි

සූරියවැව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ගම් වදින වන අලි එළවීමේ මෙහෙයුමක්‌ පෙරේදා (09 දා) රාත්‍රි සූරියවැව මදුනාගල ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණු අතර වන අලි මෙහෙයුම අතරතුර ඇති වූ උණුසුම් තත්ත්වයක්‌ හේතුවෙන් රාත්‍රි 11.00 ට පමණ වන අලි මෙහෙයුම නතර කිරීමට සිදු විය.

මෙම වන අලි මෙහෙයුම සඳහා වනජීවී නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම, දකුණු පළාත් සභා මන්ත්‍රී සුජිත් මුතුකුමාරණ, වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ ගොවි නියෝජිතයන් හා හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි වන ආරක්‍ෂක ඡේ. ඒ. වී. විජයකුමාර මහතා ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ ද එක්‌ව සිටියහ.

සවස 6.00 ට පමණ වන අලින් හත්දෙනකු සූරියවැව මදුනාගල පාරේ කුණු වළ අසල සිටින බවට දැනුම් දීමත් සමග වනජීවී නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රමුඛ වනජීවී නිලධාරීන් ද එම ස්‌ථානයට ගියේ ගම්මුන්ද සමගිනි. කෙසේ වෙතත් එම ස්‌ථානයට ගිය වනජීවී නිලධාරීන් අලි වෙඩි දමා වන අලි පන්නා දැමීම සිදු කළ නමුත් රාත්‍රි 11 වන විටත් වන අලි හත්දෙනා ගමින් කැලයට පන්නා දැමීමට නොහැකි විය. අලි හත්දෙනා සීසීකඩ විසිර යමින් ඒ මේ අත පැන සිතු සිතූ පරිද්දෙන් කෙසෙල් මණ්‌ඩි පිටින් වනසා දැමූහ. කෙසේ වෙතත් රාත්‍රි 11 වන විටත් වනජීවී නිලධාරීන් හා ගම්වාසීන් මෙන්ම වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරයා ද බලා සිටියදීම වන අලි ටික නැවත කුණු වළ දෙසටම පැමිණ අසල තිබූ කැලයකට වැදීමත් සමග එහි ඇති වූයේ දැඩි උණුසුම් තත්ත්වයකි. එහිදී ගම්මුන් වනජීවී නිලධාරීන්ට චෝදනා කළේ වනජීවී නිලධාරීන් හිතා මතාම මෙම වන අලි එළවීමේ මෙහෙයුම කඩාකප්පල් කළ බවයි. මෙහිදී වනජීවී නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ද වනජීවී නිලධාරීන්ට දොස්‌ කියන්නට වූයේ පෙර දැනුම් දීමක්‌ කර තිබියදීත් මෙම අලි මෙහෙයුම වනජීවී නිලධාරීන් කඩාකප්පල් කිරීමට පියවර ගත් බව පවසමිනි.

එහිදී වනජීවී නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

මේ මිනිස්‌සු වන අලි කරදරයට විසඳුමක්‌ දෙන්න කියලා මාරාන්තික උපවාසයක්‌ කළා. මම ඇවිත් මේ මිනිස්‌සු හමු වුණා. ඇත්තටම මේ මිනිස්‌සු කියන දේ අපිට කරන්න පුළුවන් දෙයක්‌. ඒ අනුව තමයි මං වනජීවී අධ්‍යක්‍ෂවරයාටත් කියලා මේ වැඩේ පටන් ගන්න අවශ්‍ය කටයුතු කළේ. මං මේ සියලු සංවිධාන කටයුතු කරන්න කියලා මේ හම්බන්තොට වනජීවී එකේ අයට කිව්වා. මං 9 දා හම්බන්තොට වනජීවී කාර්යාලයට යන විටත් මේ අයගේ කිසිදු සැලැස්‌මක්‌ මේ සඳහා තිබුණේ නෑ. පස්‌සේ මං වනජීවී එකේ අයත් එක්‌ක ගමේ මිනිස්‌සුත් එකතු කරගෙන වන අලි මෙහෙයුම ආරම්භ කළා. ගමේ මිනිස්‌සු දන්නවා අලි ටික කෙහේද ඉන්නේ, කොහොමද එළවන්න ඕනේ කියන එකත්. එහෙම තියෙද්දී වනජීවී එකේ අය එක සැරේටම ඇවිත් එහෙන් මෙහෙන් අලි වෙඩි දමලා අලි ටික කුලප්පු කළා. රෑ 11 වෙනකම් මාත් ගමේ අයත් එක්‌ක එකතු වෙලා උත්සාහ කළේ මේ අලි ටික කැලේට එළවන්නයි. නමුත් මේ වැඩේට වනජීවී එකේ අයගෙන් කිසිදු සහයක්‌ ලැබුණේ නෑ. අපි පොඩි බබ්බු නෙමෙයි. වනජීවී එකේ අය මේක කඩාකප්පල් කළා. ඒක මොන්ටිසෝරි ළමයකුට වුණත් තේරෙනවා. වනජීවී එකේ අය මහා පරිමාණ කෙසෙල් මුදලාලිලාට සහාය වෙන විදියටයි වැඩ කරලා තියෙන්නේ. මං මේ පටන් ගත්ත වැඩ නම් නවත්වන්නේ නෑ. වනජීවී නියෝජ්‍ය ඇමැති ලෙස මං ලැඡ්ජා වෙනවා මගේ අමාත්‍යාංශයේ නිලධාරීන් කළ මේ වැඩේ ගැන යෑයි පැවසීය.

කෙසේ වෙතත් වන අලි මෙහෙයුමට එක්‌ව සිටි හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි වන ආරක්‍ෂක ඡේ. ඒ. පී. විජයකුමාර මහතා ඇමැතිවරයාගේ චෝදනා හමුවේ මෙසේ පැවසීය.

මං අරක්‌කු සිගරැට්‌ බොන්නේ නෑ. මං මේ කාගෙන්වත් මොකවත් අරගෙන නෑ. මට එහෙම ඕනකමක්‌ නෑ. අපිව මානසිකව වට්‌ටලා මේ වැඩේ කරන්න බෑ. අපි හොඳ මානසිකත්වයක නෑ. අපි මේ වැඩේ කඩාකප්පල් කළේ නෑ. අපිටත් ඕනේ මේ අලි ටික එළවගන්න.

කෙසේ වෙතත් වන අලි මෙහෙයුම අසාර්ථක වීම කෙරෙහි ගම්මුන්ගෙන් හා වනජීවී නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් ද චෝදනා එල්ල වූයේ හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්ටය. මෙහිදී එක්‌රැස්‌ව සිටි ගම්මු මෙසේ පැවසූහ. වනජීවී එකේ අය ඇවිත් ගමේ අලි එළවීම කෙසේ වෙතත් අලි වෙඩි ගහලා මහා සංදර්ශනයක්‌ නම් දැම්මා මෙහෙම අලි එළවන්න බෑ. 

කෙසේ වෙතත් වනජීවී නියෝජ්‍ය ඇමැතිවරයා එම අවස්‌ථාවේදීම වනජීවී අධ්‍යක්‍ෂවරයා ද දුරකථනය ඔස්‌සේ සම්බන්ධ කරගත් අතර මෙහි ඇති වී ඇති තත්ත්වය පිළිබඳව ද ඇමැති කරුණු පැහැදිලි කළේය. නැවත වන අලි මෙහෙයුම 10 දා රාත්‍රියේ ආරම්භ කරන බවත් ඒ සඳහා නිසි පුහුණුවලත් නිලධාරීන් සම්බන්ධ කරන ලෙසත් දැන්වීය.
« PREV
NEXT »